පාසල් හා අධ්‍යාපන ආයතනවල මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථබව ආදී මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග මෙන්ම, විෂය බාහිර ක්‍රියාකාරකම් සීමා කිරීම වැනි පූර්වාරක්ෂක පියවර නිසි ලෙස අනුගමනය නොකරන්නේ නම්, එම පාසල්වල කාර්ය මණ්ඩලවලට මෙන්ම සිසුන්ගේ පවුල්වල වැඩිහිටියන්ටද කොවිඩ්-19 ආසාදනය වීමේ ප්‍රභවයක් බවට පාසල් පත්විය හැකි බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි.
ඒ අනුව වසංගතය අතරතුර පූර්ණ කාලීනව පාසලකට ගිය එක් දරුවෙකු හෝ සිටින නිවසක වැඩිහිටියන්ට කොවිඩ්-19 ආසාදනය වීම හෝ රෝග ලක්ෂණ පෙන්වීම, එසේ පාසල් නොගිය හෝ පාසල් දරුවන් නොසිටින නිවසක වැඩිහිටියන්ට වඩා 38%කින් වැඩි බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ යම් පාසලක් ආසාදන අවම කිරීමේ පියවර පැනවුවහොත් සහ ඒවා නිසි පරිදි දරුවන් විසින්ද ක්‍රියාත්මක කළහොත් අවදානම අඩු බව පෙන්වා දෙන මෙම අධ්‍යයනය, ඒ සඳහා පූර්වාරක්ෂක පියවර හතක් හෝ ඊට වැඩි ගණනක්වත් පැනවීම අත්‍යවශ්‍ය බවද කියයි.
"ආසාදන අවම කිරීමේ ක්‍රියාමාර්ග හතක් හෝ වැඩි ගණනක් වාර්තා කරද්දී, එනම 80% කට වඩා ශිෂ්‍ය හා ගුරුවරු මුඛ ආවරණ නිසිලෙස පලඳින්නේ නම්, තම පන්ති කාමරයෙන් ඔබ්බට ප්‍රවේශය සීමා කරන්නේ නම්, මේස අතර අමතර ඉඩ ප්‍රමාණයක් තබා ගන්නේ නම්, කෑමබිම හෝ වෙනත් දෑ බෙදාගැනීමක් නොකරන්නේ නම්, පන්තියක සාමාන්‍ය ධාරිතාව 50%ක් දක්වාවත් අඩු කරන්නේ නම්, සෑම දිනකම රෝග ලක්ෂණ පරීක්ෂා කරන්නේ නම් ආදී පූර්වාරක්ෂක පියවර අනුගමනය කරන්නේ නම් පාසල් තවදුරටත් කොවිඩ්-19 ආසාදන ප්‍රභවයක් වන්නේ නැහැ" වසංගත රෝග විද්‍යාඥ ජස්ටින් ලෙස්ලර් සහ මෙම අධ්‍යයනයට සම්බන්ධ විශේෂඥයන් පවසයි.
"මේ අධ්‍යයනයේදී ඉදිරිපත් කර ඇති ප්‍රතිඵල විමසීමේදී පාසල් යන දරුවන් සිටින නිවෙස්වල වැඩිහිටි සාමාජිකයන්ගේ කොවිඩ්-19 ආශ්රිත ප්‍රතිඵල අතර වෛරසය සම්ප්රේෂණයන්හි පැහැදිලි සම්බන්ධයක් පෙන්නුම් කරනවා. එහිදී පාසල් පදනම් කරගත් ආසාදන අවම කිරීමේ පියවර හතකට වඩා වාර්තා වූ විට මේ සම්බන්ධතා අතුරුදන් වීමක් හෙවත්, අවදානම අඩුවීමක් දකිනවා." ඔවුන් කියයි
"ඒ වගේම ආපනශාලා වසා දැමීම, ක්‍රීඩා පිටි වසා දැමීම සහ මේස අතර ආරක්ෂිත ආවරණ සවිකිරීම ආදිය අවදානම අඩුකිරීමට හේතු වී තිබෙනවා. මේ සියලු පූර්වාරක්ෂක ක්‍රියාකාරකම් ගැන තැකීමක් නොකර අර්ධ කාලීනව අධ්‍යාපනය ලබාදීමෙන්ද ආසාදන අඩු කිරීමක් බලාපොරොත්තු වෙන්න බැහැ." අධ්‍යයනය පෙන්වා දෙයි.
මෙම අධ්‍යයන කණ්ඩායම පසුගිය වසර අවසානයේ සහ 2021 ආරම්භයේදී ඇමෙරිකා එක්සත් ජනපදය පුරා කුටුම්භ 500,000කට වැඩි සංඛ්‍යාවක් සමීක්ෂණය කරමින් මෙම කරුණු අනාවරණය කර ඇත.
එක්සත් ජනපදයේ මෙන්ම ලොව වෙනත් රටවලද සමාජ ව්‍යුහය තුළ පාසල් සුවිශේෂී සමාජ සම්බන්ධතා කාර්ය භාරයක් සිදුකරන බැවින්, බොහෝවිට අසමාන ප්‍රජාවන් අතර සම්ප්‍රේෂණ සම්බන්ධතා ඇති කිරීමට පාසල් හේතු විය හැකි බවද මෙම අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.
"පන්ති කාමරවලදී වෛරස සම්ප්‍රේෂණය අඩු කළත්, දරුවන් පාසලට පැමිණ ඉගෙන ගැනීමේදී ඔවුන්ව පාසලට ඇරලවීමට හා රැගෙන යාමට දෙමවුපියන් ඇතුළු පිරිස් එනවා. එහිදී ගුරුවරුන් අතර, දෙමවුපියන් අතර අන්තර් සම්බන්ධතා ඇතිවෙනවා. එය සම්ප්‍රේෂණ ඉහළ යෑමට හේතුවක්. මේ පාසල් කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ සිසුන්ට ඇති අවදානමට වඩා, ගුරුවරුන්ට සහ දරුවන්ගේ පවුල්වල වැඩිහිටි සාමාජිකයන්ට මේ හරහා ඇති වන අවදානම සමස්ත වසංගතයටම හේතු වන නිසයි." අධ්‍යයනය වැඩිදුරටත් පවසයි.