කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් මුහුණපා ඇති ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගන්නා ලෙස ඊයේ (11) පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට, සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම පිළිබඳ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වූ වහා ම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම ද ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් සෞඛ්‍ය අමාත්‍යංශය ඔස්සේ ලබාගත හැකි බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
පාසල් නැවත ආරම්භ කිරීමේ දී ඇති වන ගැටලු මගහරවා ගැනීම සඳහා සිය සංගමයේ සහය අධ්‍යාපන කලාප මට්ටමෙන් ලබා දිය හැකි බව මෙම සාකච්ඡාවට එක්ව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ. රටේ අධ්‍යාපන කලාප 99 උදෙසා ම තම සංගමයේ නියෝජිතයින් නම් කරමින් අදාළ කටයුතු විධිමත් කරන බව ඔවුහු පැවසූහ.
පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම් 11 ශ්‍රේණියේ හා 13 ශ්‍රේණියේ දරුවන්ට එහි ප්‍රමුඛතාව දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දුන්නේ ය. මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ වන ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂ තුනකට ආසන්න පිරිසට එන්නත් ලබා දීමේ වැදගත්කම ද ලේකම්වරයා පෙන්වා දුන්නේ ය.
රටේ අනාගත දරු පරපුර මෙන් ම ඔවුන්ට මග පෙන්වන ගුරුවරු ද ආරක්ෂා කර ගැනීමට රජය සෑම විට ම කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදි සඳහන් කර තිබේ.
පාසල් ආරම්භ කිරීමේ දී දරුවන් සහ ගුරුවරුන් ආරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ පාසලට කැඳවා ගැනීම පිළිබඳ ව වැඩපිළිවෙළක් සකස් විය යුතු බව ද පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා මේහිදී සඳහන් කර තිබේ.
ගැබිනි මව්වරුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබා දුන් සහයෝගය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඇගයීමට ලක්ව තිබේ.