පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස හයක් ගතවී ඇතත් අදාළ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොකිරිම සම්බන්ධව බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරු සභා රැස්වීම පැවති අවස්ථාවේදී ඉටිපන්දම් දල්වා විරෝධය පළ කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ගයාන් ගීතික ලියනගේ මහතා විසින් පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමට යෝජනාවක් සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරු නැගී සිටිමින් පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට දඬුවම් නොකිරිම සම්බන්ධව විරෝධය දැක්වූහ.
එහිදි යෝජනාව ඉදිරිපත් කරමින් ලියනගේ මහතා පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ වාර්තාව ජනාධිපතිතුමාට ලැබී ඇති බැවින් එයට සම්බන්ධ වූ සියලු දෙනාට දඬුවම් ලබාදිය යුතු බවයි.
සභාපති දිල්රුක් අබේකෝන් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය,
“පාස්කු ප්‍රහාරයට අදාළ චූදිතයින් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට එකතු කරගන්න එපා කියලා සියලුම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඬුවම් දෙන අතරම මහ බැංකු චූදිතයන්ට හා මත්ද්‍රව්‍ය වැරදි වලට අත්අඩංගුවට පත්වූවන්ට ද නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉදිරියේදී පත්වන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ඉන්දික විජේවික්‍රම මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ජනතා දේපළ මංකොල්ලකන සියලු අපරාධකාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හුසේන් කියාස් මහතා පවසා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති බවයි. ඔවුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු බවත් හෙතෙම එහිදී පැවසීය.
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්විම අද (22) කලේගාන සභා ශාලාවේදී සභාපති දිල්රුක් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ගාල්ල - සිරංගිකා ලොකුකරවිට