කොරෝනා ආසාදිත බවට තහවුරු වී සිටින මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ සේවය කරන පොල්පිතිගම රාවාඇළ පදිංචි සේවිකාවගේ මවට මෙන්ම පියාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ආසාදිත සේවිකාවගේ මවට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (7දා) තහවුරු වූ අතර ඇගේ පියාට වෛරසය ආසාදනය වූ බව අද (8දා) පී.සී.ආර්. පරීක්ෂණ මඟින් තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
ආසාදිත මව 58 හැවිරිදි වන අතර පියා 60 හැවිරිදිවේ. දියණියට වෛරසය ආසාදනය වීමෙන් පසුව ඇතිවූ රෝග ලක්ෂණ හේතුවෙන් මව ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.
ඒ හේතුවෙන් ඇතිවූ සැකයක් මත පසුව ඇගේ පියාද කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිදුකරන ලද පරීක්ෂණයකදී ඔහුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ආසාදිත දියණිය හම්බන්තොට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යවා තිබෙන අතර ඇගේ දෙමාපියන් අයි.ඩී.එච් රෝහලට ප්‍රතිකාර සඳහා යවා ඇත.