එක්සත් රාජධානියේ දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවප්‍රාප්ත සැමියා වන පිලිප් කුමරුගේ දේහය ලබන සතියේ සෙනසුරාදා භූමදානය කිරීමට සැලසුම් කර ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.
එය අවමංගල උත්සවය වර්ණවත් හා සම්ප්රදායන්ගෙන් පිරිපුන් නමුත් කොවිඩ්-19 වසංගතය හමුවේ රාජකීය ප්‍රමිතීන්ට අනුව අවම මට්ටමින් සිදුකරනු ඇති බවද සඳහන් වේ.
එඩින්බරෝ ආදිපාදවරයා ලෙස කටයුතු කළ පිලිප් කුමරු වයස අවුරුදු 99 දී පසුගිය සිකුරාදා උදෑසන වින්ඩ්සර් කාසල්හිදී සාමකාමීව සිය දිවියෙන් සමුගත්තේය. ඔහු බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් සේවය කළ රාජකීය ස්වාමි පුරුෂයා වූ අතර, ඔහු රැජින සමග විවාහ වී අවුරුදු 73ක් ගෙවී ඇත.
මේ අතර සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී තම සීයාගේ අවමඟුලට සහභාගී වන නමුත් ඔහුගේ බිරිඳ වන සසෙක්ස් ආදිපාදවරිය වන මේගන් ඊට නොපැමිණෙන බවද බකිංහැම් මාලිගයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම යුවළ කැලිෆෝනියාවේ පදිංචිව සිටින අතර ගැබිනියකව සිටින මේගන්ට එක්සත් රාජධානියට නොයන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබීම ඊට හේතුව බවද රාජකීය ප්‍රකාශකයා පැවසීය.
කෙසේ වෙතත් රාජකීයත්වය අත්හළ මෙම යුවළ මාර්තු මාසයේ ඔප්රා වින්ෆ්‍රී සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී රජ පෙළපත ප්‍රසිද්ධියේ දැඩි විවේචනයකට ලක්කළහ.
පිලිප් කුමරුගේ අවමංගල්‍ය සැලසුම් ඇතැම් කොවිඩ්-19 සීමාවන්ට ගරු කිරීම සඳහා අනුගත වී ඇති අතර, මහජනයාට වැඩි වශයෙන් ගෞරව කිරීමට අවස්ථාව ලබාදීමේ පුරුදු අංග ඉවත් කර ඇත. මන්දයත් එංගලන්තයේ වර්තමාන කොවිඩ්-19 නීති මගින් අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 30ක් දක්වා සීමා කර ඇත.
රියදුරෙකු නොමැතිව තනිවම ලෑන්ඩ්රෝවර් රථ පැදවීමට කැමැත්තක් දැක්වූ පිලිප් කුමරු වෙනුවෙන් ඔහුගේ දේහය තැන්පත් කළ මංජුසාවද වින්ඩ්සර් කාසල් සිට ශාන්ත ජෝර්ජ් දේවස්ථානය දක්වා ලෑන්රෝවර් රථයකම රැගෙන යාමට නියමිතව ඇත.