දෙවැනි එලිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ ආදිපාදවරයා හෙවත්, පිලිප් කුමරු වයස අවුරුදු 99 දී අභාවප්‍රාප්ත වී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කිරීමත් සමග, ලොවපුරා දේශපාලන නායකයන්, ප්‍රකට පුද්ගලයන් සහ ජනතාව සිය ශෝකය පළ කරමින් සිටියි.
බැකිංහැම් මාලිගය විසින් කුමරුගේ මරණය නිවේදනය කරද්දී රැජිනද වින්ඩ්සර් කාසල් හි සිට සිය බලවත් ශෝකය පළ කරනු ලැබුවේ දීර්ඝ කාලයක් තම දිවි සැරියේ එකට ගමන් කළ පිලිප් කුමරු වෙනුවෙනි.
බ්‍රිතාන්‍ය ඉතිහාසය තුළ දීර්ඝ කාලයක් සේවය කළ රාජකීය ස්වාමි පුරුෂයා වන්නේද පිලිප් කුමරුය.
චාල්ස් කුමරු තම පියා ගැන සඳහන් කරමින් කියා සිටියේ, "මගේ අම්මා (රැජින)ට සහයෝගය දැක්වීමේදී ඔහුගේ ශක්තිය විශ්මය ජනක වුණා. එය බොහෝ කාලයක් ඇයට ලැබුණා. මා විශ්වාස කරන්නේ ඔහු සිදුකර ඇති දෙය විශ්මයජනක ජයග්‍රහණයකට සමානයි." යනුවෙනි.
ඩව්නිං වීදියේ දී අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා සිටියේ "එඩින්බරෝ ආදිපාදවරයා විසින් එක්සත් රාජධානියේ, පොදුරාජ්‍ය මණ්ඩලය හරහා සහ ලොව පුරා පරම්පරා ගණනාවක සෙනෙහස උපයා තිබෙනවා" යනුවෙනි.
ආදිපාදවරයාට උපහාරයක් වශයෙන්, වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය සිය ජීවිතයේ සෑම වසරකටම ගෞරවය දැක්වීම සඳහා තත්පර 60කට වරක් 99 වතාවක් සීනු නාද කළේය.
මේ වනවිටත් බකිංහැම් මාලිගයේ ධජය අඩකුඹු කර ඇති අතර, එඩින්බරෝ ආදිපාදවරයාගේ මරණය සනිටුහන් කිරීම සඳහා ගේට්ටුවල දැන්වීමක් පළ කරන ලදී.
ජනතාව වින්ඩ්සර් මන්දිරය වෙත ගොස් මල් තබමින් සිය ශෝකය පළ කරමින් සිටියත්, බ්‍රිතාන්‍ය රජය ඉල්ලා ඇත්තේ පවතින කොවිඩ්-19 වසංගතය හමුවේ ජනතාව ඒකරාශී නොවන ලෙසය.