පරිසරය මිනිසාට අවශ්‍ය වූවාට පරිසරයට මිනිසා අවශ්‍ය නොවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කොළඹ ආනන්ද විද්‍යාලයේ සම්පත් කේන්ද්‍රය සහ කසළ පොළ විවෘත කරමින් පැවැති උත්සවයේදීය.
“වැදගත් කරුණු දෙකක් අප අමතක කරන්න හොඳ නැහැ. ඉන් අපේ පරිසරය පළමු කාරණය. පරිසරය අපට අවශ්‍ය වුණාට පරිසරයට අපි අවශ්‍ය නැහැ. මේ ග්‍රහලෝකය බිහිවෙලා අපි දන්න විද්‍යාව අනුව වසර බිලියන 4ක් වෙනවා. මනුෂ්‍යයාගේ කාර්මික විප්ලවය බිහිවෙලා තවම අවුරුදු 200යි.
මේ වසර බිලියන 4කට වැඩි යුගය එක වසරක් ලෙස ගතහොත් මනුෂ්‍යයාගේ කාර්මික විප්ලවය ඇතිවී තිබෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 11.59 ට. එක විනාඩියයි ගෙවිලා තිබෙන්නේ.
ඒ අනුව බැලූවහම එක විනාඩියයි අපි හරියට ජීවත්වෙලා තිබෙන්නේ මේ නූතන සමාජයේ. අප නැතුව මේ ලෝකයට පවතින්න පුළුවන්. ඩයිනෝසරයන් නැතිවී ගියා වගේ, අප නැතිව ගියත් ලෝකයට පැවතිය හැකියි. හැබැයි අපට පරිසරයට නැතිව පැවතිය නොහැකියි. ඒ නිසා එය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගත යුතුයි.
අද ජපානයේ හිරෝෂිමාවට බෝම්බ දැම්මට වැඩිය ලොකු විනාශයක් සිදුවනවා ගංවතුරෙන්. කොපමණ දියුණු රටක් වුවත් පරිසරය ව්‍යසනයෙන් වළක්වා ගන්න බැහැ. විශාල ලෙස සීතල රටක් වන කැනඩාව අද රස්නය නිසා මිනිසුන් මිය යන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ගංවතුර, නියඟය, උණුසුම දරාගත නොහැකි ගැටලුවක් බවට පත්ව තිබෙනවා. එනිසා මේ මහපොළොව රැකගැනීම අත්‍යාවශ්‍යම දෙයක්. ඔබ මේ මහපොළව රැකගැනීමට කටයුතු කළ යුතුයි” යැයි පාඨලී රණවක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
