ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී අනතුරට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් (Express Pearl) නෞකාවෙන් සිදුවූ පරිසර හානිය ගණනය කිරීමේ දී දැනට සිදුවී ඇති පරිසර හානිය මෙන් ම සිදුවූ එම හානිකර තත්වයන් නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා යන වියදම් ද ඇතුළත් කර එම ගණනය කිරීම කරන ලෙසත්, සමුද්‍රීය ආරක්ෂණ කළමනාකරණ ආයතනයක් අලුතින් ගොඩනගන ලෙසටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබාදුන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතීඥ දර්ශනී ලහන්දපුර මහත්මියට ලබා දී ඇති උපදෙස් අනුව පරිසර හානිය ගණනය කිරීම මේ වනවිටත් සිදුකරමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.
ශ්‍රී ලංකා මුහුදේ දී පසුගිය මැයි මස 24 වැනි දින මධ්‍යම රාත්‍රියේ දී ගිනිගෙන අනතුරට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වන විට මුහුදු බත් වී ඇති අබලි සුන්බුන් තත්වයට පත්ව ඇති බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතීඥ දර්ශනී ලහන්දපුර මහත්මිය ප්‍රකාශ කළාය.
අබලි සුන්බුන් තත්වයට පත්වීම සඳහා නෞකාවට ගතවූයේ මාස 05 ක් වැනි කෙටි කාලයක් බවත්, එම අබලි සුන්බුන් තත්වයන් මෙතෙක් පැවති පරිසර හානිකර තත්වයන් තවදුරටත් ඉහළ දමන තත්වයකට පැමිණෙනවාද කියා දැඩි අවධානයක් යොමු කරමින් සිටින බවත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති, නීතීඥ දර්ශනී ලහන්දපුර මහත්මිය අවධාරණය කරයි.
නෞකාව හේතුවෙන් අපවිත්‍ර වූ වෙරළ තීරයේ මීටර් 01 ක් දක්වා යටට, එනම් වැලි තට්ටු 07 ක් යටට කිදාබැස තිබෙන කුඩා ප්ලාස්ටික් කැබලි මේ වන විට ඉවත් කරමින් පවතියි.
මන්නාරම සිට දෙවුන්දර දක්වා වෙරළ තීරය ද දිනපතා පිරිසිදු කරමින් තිබේ. මෙහි ඇති විශේෂත්වය නම් වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව නොකඩවා සිදුකළ යුතුවීමයි. එය අවම වශයෙන් තවත් වසරක්වත් කළ යුතුව තිබේ.
වෙරළ තීරය පිරිසිදු කිරීමට ශ්‍රමිකයින් 400 කට ආසන්න පිරිසක් දැනට යොදවා තිබේ. දිනපතා නොකඩවා වැඩකරන එම ශ්‍රමිකයින් මේ වන විට මිනිස් පැය 33,000 ක පමණ මිනිස් ශ්‍රමයක් වැය කර සිටියි.
මෙහිදි මීගමුව සරක්කුව, ගල්කිස්ස, අගුලාන යන වෙරළ තීරයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.
සිදුවූ පරිසර හානිය කොටස් දෙකකට බෙදා දක්වා තිබේ. ඒ ඇසට පෙනෙන සහ ඇසට නොපෙනෙන පරිසර හානි වශයෙනුයි. සිදුවූ මෙම පරිසර හානිය ගණනය කිරීම සඳහා ක්ෂේත්‍ර විශේෂඥයන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර සිටියි.
මෙම නෞකාවෙන් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් අදාළ වන්දි මුදල් ලබා ගැනීමට නීතීයෙන් කටයුතු කරමින් සිටින බව ලහන්දපුර මහත්මිය අවධාරණය කරයි.
සාගර පතුල ගවේශනය කිරීම ස්වයංක්‍රීය උපකරණයක් මඟින් සිදුකෙරේ. එම යන්ත්‍රයෙන් මුහුදු පතුල ස්කෑන් කර කන්ටේනර් විසිරී ඇති ආකාරය පිළිබඳ තොරතුරු එක් රැස් කර ගනියි. මේ වන විට ගවේෂණයේ බොහෝ කටයුතු සාර්ථකව නිමකොට තිබේ. වාරකන් සමය අවසන්ව මුහුද සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු කිමිදුම්කරුවන් යොදවා නැවත පරීක්ෂාවක් කිරීම මෙහි අවසන් සැලසුම ලෙස දක්වා තිබේ.
මුහුදු පතුලේ සුන්බුන් ඉවත් කිරීම, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ කොන්දේසි හා නියමයන්ට යටත්ව සිදු කිරීම මෙහි අනෙක් සැලසුමයි. අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඔක්තෝබර් මස අවසන් සතියේ හෝ නොවැම්බර් මස පළමු සතියේ ඉවත් කිරීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
සිදුවී ඇති පරිසර හානිය පිළිබඳ අවසන් වාර්තාව නොවැම්බර් මස 30 වන දිනට පෙර ලබාදෙන බවත්, පරිසර හානිය පිළිබඳ දීර්ඝ කාලීනව විමර්ශන ක්‍රියාවලියක යෙදීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියි.
