පරිසරයට යම් විනාශයක් කවුරුන් විසින් හෝ සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව දඩ මුදල් හා සිරදඬුවම් ලබාදෙන කාලය වැඩිවන සේ දැනට පවතින පරිසර පනත මෙම වසර අවසන් වීමට පෙර සංශෝධනය කරන බවත් එසේ පරිසර පනත සංශෝධනය කිරීමෙන් පසුදැනට ඒ යටතේ ලබාදෙන මුදල් දඩ දස ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවත් සිර දඬුවම් ලබාදෙන කාලයද වැඩි කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි .
පරිසර අමාත්‍යවරයා ඒ බව පවසා සිටියේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් අද (04) බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි .
රජයේ අනුදැනුම මත මහා පරිමාණ පරිසර හානියක් සිදුවන බවට ඇතැම් සමාජ මාධ්‍ය අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන බවත් මේ සම්බන්ධව සැබෑ තත්ත්වය මහනාහිමිවරුන්ට පැහැදිලි කර දීමට තමන් පැමිණි බවත් ඇමතිවරයා එහිදී අවධාරණය කළේය.
පරිසර විනාශ කරන්නන්ට එරෙහිව නව නීති සකස් කර ඒවා නීතිපති වෙත යොමුකරන බවත් හැකි ඉක්මනින් සංශෝධිත පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව මගින් සම්මත කර මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පරිසර විනාශ කරන්නන්ට එරෙහිව පක්ෂ පාට තනතුරු භේදයකින් තොරව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පරිසරයට හානි කළ ආණ්ඩුපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙකු හා සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයකුට නීතිය ක්‍රියාත්මක කරමින් එය ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වා තිබෙන බවත් ඔහු පැවසීය.
පසුගිය කාලයේ දේශපාලනඥයින් හා බලවතුන් ඉදිකර නිදැල්ලේ සිටියදී සාමාන්‍ය ජනතාව සුළු වරදකට අල්ලාගෙන ගොස් දඬුවම් ලබා දුන් අවස්ථා තිබු බවත් නමුත් දැන් එවැන්නකට කිසිදු ඉඩක් නොමැති බවත් ඔහු සඳහන් කළේය .
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
දර කෑල්ලක් කපා ගත්තොත් ගඩොල් කපාගන්න පස් ටිකක් කපා ගත්තොත් පොඩි ටැක්ටරයක වැලි ටිකක් අරන් ගියොත් සාමාන්‍ය ජනතාවට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක වෙද්දී මහා පරිමාණ ජාවාරම්කරුවන් එදා නිදැල්ලේ සිටියා. නමුත් එවැනි තත්ත්වයක් යළි ඇති වන්නේ නැහැ .
ආනවිලින්දාව ප්‍රදේශයේ ඩෝසර් කළ අක්කර එක හමාරක භූමිය යලි යථාතත්වයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේම එහි අක්කර එක්දහස් ගණනක වන භූමියේ කඩොලාන වගා කිරීමටත් පියවර ගෙන තිබෙනවා .
වනාතවිල්ලුව සිමෙන්ති කර්මාන්ත ශාලාවට අයත් භූමියේ ගස් කීපයක් කපා තිබෙන බවත් එයට කිසිදු දේශපාලන සම්බන්ධයක් නොමැති බවත් එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය .