ප්‍රංශයේ ලියොන්හි පල්ලියක් වසා දමමින් සිටි ග්‍රීක ඕතඩොක්ස් පූජකවරයකුට හුදකලා ප්‍රහාරකයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව ප්‍රංශ පොලීසිය පවසයි.
52 හැවිරිදි පූජකවරයාගේ බඩට වෙඩි වැදී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.
වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පලා ගොස් ඇති අතර, වෙඩික්කරු දිගු කළු පැහැති කබායක් හැඳ සිටි බව කියයි. ඔහු එම කබාය තුළ ගිනි අවිය සඟවාගෙන පැමිණ ඇති බව විශ්වාස කෙරෙයි.
වෙඩි ප්‍රහාරයෙන් පසුව පුද්ගලයෙකු දිවයන ආකාරය අසල්වැසියන් දැක ඇති අතර, පූජකවරයා පල්ලියේ පිටුපස දොරටුව අසල තුවාල සමග වැටී සිටියදී හමුවී තිබේ.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය කුමන චේතනාවකින් සිදුකළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබේ.
මෙම වෙඩි තැබීම සිදුවන්නේ නීස් හි පල්ලියක සිදුවූ පිහි ප්‍රහාරයෙන් තිදෙනෙකු මිය ගොස් දින දෙකකට පසුව ය. එම සිද්ධිය සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින අතර, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් පවසා සිටියේ ප්‍රංශය ඉස්ලාමීය ත්‍රස්ත උමතුවෙන් ප්‍රහාරයට ලක්ව ඇති බවය.
"ඉස්ලාමයේ නාමයෙන් සමහර අන්තවාදී ව්‍යාපාර සහ පුද්ගලයන් විසින් සිදුකරන ප්රචණ්ඩත්වය අප සැමට ගැටලුවක් වෙලා" ප්‍රංශ නායකයා මීට පෙර පවසා තිබුණි. නීස් හි ප්‍රහාරයෙන් පසුව, ප්‍රංශය සිය ජාතික ත්‍රස්ත අනතුරු ඇඟවීමේ අවදානම ඉහළම හදිසි මට්ටමට දක්වා ඔසවා තැබූ අතර පාසල්, පල්ලි සහ වෙනත් පූජනීය ස්ථානවල ආරක්ෂාව වැඩි කිරීම සඳහා හමුදා භටයන් 4,000 ක් පමණ යොදවා තිබුණි.