පාර්ලිමේන්තු රැස්වීම් අඛණ්ඩව පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
එම කාරක සභාව මෙම තීරණය ගනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) දහවල් රැස්වූ අවස්ථාවේදීය.
ඒ අනුව ලබන ඔක්තෝබර් 20 වැනිදා සිට සුපුරුදු පරිදි පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ කිරීමටත් එදින පෙරවරු 10.00 සිට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝග 03ක් විවාදයට ගැනීමටත් කාරක සභාව තීරණය කළේය.
එදින සවස 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
ඔක්තෝබර් 21වැනිදා වෛද්‍ය ආඥාපනත යටතේ ඉදිරිපත් කර තිබෙන නියෝග විවාදයට ගැනීම නියමිතය.
විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව එදින සවස 4..30 සිට 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.
ඔක්තෝබර් 22 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ යෝජනාව විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තු සංනිවේදන අංශය පවසයි.
එමෙන්ම ඔක්තෝබර් 09 දිනට නියමිතව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. ආර්. ඩබ්ලිව්. රාජපක්ෂ හා අභාවප්‍රාප්ත කේ. පී. සිල්වා යන මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි අභාවප්‍රාප්ත සුරංගනී එල්ලාවල මහත්මිගේ ශෝක ප්‍රකාශ යෝජනා ලබන 23වැනිදා විවාදයට ගැනීමට නියමිතය.
මේ අතර යම් ලෙසකින් 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව ලබන ඔක්තෝබර් 20 වැනිදා කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කළහොත් නැවත වරක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කැඳවා එම සංශෝධනය විවාදයට ගැනීම සඳහා දැනට සැළසුම් කර ඇති රැස්වීම්වල න්‍යාය පත්‍රය වෙනස් කිරීමටද මෙහිදී කාරක සභා සාමාජිකයෝ සාකච්ජා කළහ.