එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් මැයි මස 20 වැනිදා සිට ජුනි මස 03 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව විසින් දරන ලද පිරිවැය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක (රුපියල් කෝටි 800ක) අතුරු වන්දි මුදලක් සඳහා අදාළ නැව් සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බවට නීතිපතිවරයා විසින් දැනුම්දුන් බව ධීවර රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඒ අනුව රජයේ විවිධ ආයතන මගින් අදාළ ආපදාව පාලනය කිරීමට දරන ලද වියදම්, ජුනි මස 03වැනිදා දක්වා ධීවර කටයුතු ඇනහිටීම හෙතුවෙන් ධීවර ජනතාවට අහිමි වූ දෛනික ආදායම, ධීවර ආම්පන්නවලට සිදු වූ හානියට වියදම්, බලපෑමට ලක් වූ වෙරළ තීරය සහ එම ප්‍රදේශ පිරිසුදු කිරීමට වියදම් වූ මුදල්, මෙම කාලසීමාවට අදාළව පරීක්ෂණ කටයුතුවලට සිදුකළ වියදම් සහ අනෙකුත් වියදම් වූ මුදල් වෙනුවෙන් මෙම අතුරු වන්දි මුදල ඉල්ලා ඇති බවද සඳහන්ය.
එසේම මීට අමතරව ඉදිරියේදී සිදු කිරීමට නියමිත අනෙකුත් වියදම්, ආදායම් අහිමි වීම්, පරීක්ෂණ වියදම්, පිරිසුදු කිරීමේ වියදම් සහ පරිසර පද්ධතියට සිදු වූ හානිය ආදිය වෙනුවෙන්ද මුදල් වන්දි ඉල්ලීමටද නියමිත වේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය පිළිබඳ නීතිමය වශයෙන් කටයුතු කිරීම පිළිබඳ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ (14ද) පැවැති අතර, ඊට අධිකරණ අමාත්‍ය අලි සබ්රි, නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඒ අනුව ප්‍රසිද්ධ දැන්වීමක් මගින් අදාළ ආපදාව මගින් අදායම් අහිමි වූ සහ හානියට පත්ව ඇති අනෙකුත් විවිධ ක්ෂේත්රවල පිරිස්වලට එම ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.