ප්‍රබල යාස් සුළි කුණාටුව හේතුවෙන් නැගෙනහිර ඉන්දියාවේ කටුමැටි නිවාස දස දහස් ගණනක් විනාශ වී ඇති අතර, කොල්කටාහි කාර්යබහුලම කලාපීය ගුවන්තොටුපළ වසා දැමීමට බලධාරීන්ට සිදුව තිබේ.
මෙය සතියකට ආසන්න කාලයක් තුළ ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශ වෙත කඩා වැදුණු දෙවැනි සුළි කුණාටු තත්ත්වය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එහිදී මෙම යාස් සුළි කුණාටුව ගොඩබිම කරා පැමිණෙද්දී පැයට කිලෝමීටර 140ක පමණ වේගයෙන් ගමන් කරමින් සිටි බව කාලගුණ අංශ පවසයි.
ටෝක්ටේ සුළි කුණාටුව විසින් බටහිර වෙරළ තීරය විනාශ කර දමා දින කිහිපයකට පසු මහා පරිමාණයෙන් ජනතාව ඉවත් කිරීම හා කොරෝනා වෛරසයේ මාරාන්තික දෙවැනි රැල්ල සමග බලධාරීන් පොරබදිමින් සිටියදී මෙම නව කුණාටුවේ බලපෑම් එල්ල වීමද දැඩි ව්‍යසනයක් බවට පත්ව තිබේ.
බලධාරීන් පැවසුවේ මිලියනයකට අධික ජනතාවක් යාස් සුළි කුණාටුවේ මාවතෙන් ඉවත් කර ඇති බවය. එහිදී ඔඩීෂා ප්‍රාන්තයට පහර දෙන රළු මුහුද, තද සුළං සහ වර්ෂාව පිළිබඳ පුවත් වාර්තා වූ අතර, අද දහවල් වනවිට ඉතා දරුණු සුළි කුණාටුව ඔඩීෂා සහ එහි අසල්වැසි බටහිර බෙංගාලය පසුකර යන බව කාලගුණ අංශ පුරෝකථනය කළේය.
බටහිර බෙංගාල මහ ඇමති මමාටා බැනර්ජි මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ප්‍රාන්තයේ කටුමැටි නිවාස හා තාවකාලික නිවාස 20,000කට පමණ හානි සිදුව ඇති බවයි.
බෙංගාල බොක්කෙහි සුළි සුළං තත්ත්වයන් වර්ෂයේ මේ කාල සීමාවේදී සුලභව දක්නට ලැබෙන අතර, බොහෝවිට ඉන්දියාවේ මෙන්ම, අසල්වැසි බංග්ලාදේශයේ වෙරළබඩ ප්‍රදේශවලට මරණ හා විනාශයන් ගෙනදෙන බවත් විදෙස් වාර්තා පවසයි.