එක්සත් ජාතික පෙරමුණේ නායකයන් එක්ව නිර්මාණය කිරීමට නියමිත ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මේ දක්වා දැනුවත් කර නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඊයේ (27දා) පැවසීය.
නව පෙරමුණ සම්බන්ධව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සාකච්ඡාවක් පවත්වා තිබුණද එහි අන්තර්ගතය සිදුවන ආකාරය, ලකුණ කුමක්ද යන්න සහ ආරම්භ කරන දිනය සම්බන්ධව මේ දක්වා තීරණයක් ගෙන නැතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමා කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය නොකරන බැවින් එම පෙරමුණ සම්බන්ධව වැඩිදුර තොරතුරු නොදන්නා බවත්, කුමන පෙරමුණකින් මැතිවරණයට ඉදිරිපත් වුවද අවසානයේදී එක්සත් ජාතික පක්ෂය බලයට ගෙනඒම සිදුවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. අරලියගහ මන්දිරයේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව රජයේ ඇමති ධුර දෙකක් දරන බැවින් එම සන්ධානය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය දැරීමට හැකියාවක් නොමැති බවයි.
ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මහවැලි සංවර්ධන හා පරිසර ඇමති ධුරයත්, ආරක්ෂක ඇමති ධුරයත් දරන බවත්, එසේ ඇමති ධුර දෙකක කටයුතු කරන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා වත්මන් ආණ්ඩුවේ සාමාජිකයෙකු බවට පත්වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
එවැනි තත්ත්වයකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්ෂනායක ධුරය ලබාදීම නීත්‍යනුකූල නොමැති බවත්, සන්ධානයේ නායකයන් එක්ව එම ගැටලුව විසඳාගනු ඇති බවත් මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.
මේ අතර මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම විනාශ කිරීමේ සිද්ධියේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් බේරාගැනීම සඳහා තමා මැදිහත් වන බවට අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රචාර පැතිර යන බවත්, මුලින් අත්අඩංගුවට ගත් පුද්ගලයා මන්ද මානසික අයෙකු බව සඳහන් කරමින් නිදහස් කරන ලෙස තමා ඉල්ලා ඇතැයි ඔප්පු කළහොත් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවත් හෙතෙම කීය.
සිංහල හා මුස්ලිම් ජනතාව අතර වෛරයක් ඇති කිරීමට පිරිකට උවමනා වී තිබෙන බවත්, සංවිධානාත්මකව ජාතිවාදය වපුරන පුද්ගලයන්ට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බවත් පැවසූ මරික්කාර් මහතා විනාශ කළ බුදු පිළිම යළි සකස් කිරීමට මුස්ලිම් සමාජය කටයුතු කළයුතු බවද පවසා සිටියේය.