දෙවැනි රැල්ල පිළිබඳ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම, ජනතාවට ලිහිල් වීමටදී උදාසීනත්වය දිරිගැන්වීම සහ කොවිඩ්-19 දත්ත පිළිබඳව විනිවිදභාවයෙන් කටයුතු නොකිරිම සම්බන්ධයෙන් ප්‍රකට ලැන්සෙට් වෛද්‍ය ජර්නලය ඉන්දීය රජය දැඩිව විවේචනය කර තිබේ.
එම ජර්නලය මගින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජයේ ප්‍රතිචාරය සමාව දිය නොහැකි ප්‍රතිචාරයක් ලෙස හංවඩු ගසා ඇත.
ඉන්දියාව මේ වනවිට ලෝකයේ දරුණුතම කොවිඩ්-19 ව්‍යාප්තිය මධ්‍යයේ සිටියි. ඔවුන් දෛනික ආසාදිතයන් 403,738ක් ගෙවීගිය පැය 24 තුළ වාර්තා කර ඇති අතර, ආසාදිතයන් ලක්ෂ 4ක සීමාව අඛණ්ඩව සිව්වැනි දිනයටත් ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව රටේ සමස්ත ආසාදන මිලියන 22කට වඩා වැඩි වී ඇත.
ඉන්දියාවේ කොවිඩ්-19 රෝගීන් 900,000කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඔක්සිජන් ආධාරයෙන් සිටින අතර, එය ක්‍රියාකාරී රෝගීන්ගෙන් හතරෙන් එකක් පමණ අගයකි. එමෙන්ම තවත් 170,000ක් වෙන්ටිලේටර්ස් ආධාරයෙන් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව ඉන්දියාවේ කොවිඩ්-19 පරීක්ෂණ ධනාත්මක අනුපාතය 22%ක් පමණ වන අතර, එයින් අදහස් වන්නේ එය සියලු කොවිඩ්-19 ආසාදිතයන් හඳුනා ගැනීමට අපොහොසත් වීමක් බවය.
මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙවීගිය පැය 24 තුළ තවත් මරණ 4,092ක් ගණනය කර ඇති අතර, මේ සමග දෙවැනි දිනටත් රට තුළ දෛනික මරණ 4,000ක් ඉක්මවා ගොස් තිබේ.
ඒ සමග ඉන්දියාවේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 මරණ 242,362ක් වාර්තා වී ඇති අතර, එය ලොව තුන්වැනි වැඩිම මරණ සංඛ්‍යාවයි. වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ අගෝස්තු වනවිට ඉන්දියාව මරණ මිලියනයකට ළඟාවිය හැකි බවය.
එම ප්‍රතිඵලය යථාර්ථයක් බවට පත්වුවහොත්, ස්වයං වින්දිත ජාතික ව්‍යසනයකට පාර කැපීමේ වගකීම අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයට දරන්නට වන බව ලැන්සෙට් කතුවැකිය අනතුරු ඇඟවීය. එම කතුවැකිය වැඩිදුරටත් පවසන්නේ කොවිඩ්-19 පාලනය කිරීමේදී ඉන්දියාව එහි මුල් සාර්ථකත්වයන් විනාශ කර දැමූ බවයි.
විශේෂයෙන්ම රට වෛරසයට ගොදුරු වී ඇති බවට හැඟීමක් මහජනතාවට ලබාදීමට ඉන්දීය රජය අසමත් වී ඇති බව එම ප්රකාශනය පෙන්වා දෙයි. රජය ප්‍රමාණවත් සූදානමක් ඇති නොකර උදාසීනත්වය දිරිගැන්වූ බවත්, රටේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කිරීම මන්දගාමී කළ බවටත් චෝදනා කරයි. විශේෂයෙන්ම සුපිරි සිදුවීම්වල අවදානම ගැන අනතුරු ඇඟවුවද, ආගමික උත්සව හා දේශපාලන පෙළපාලි ඉදිරියට යාමට මෝදි රජය ඉඩදී බලා සිටීම කිසිසේත්ම සමාව දිය නොහැකි තත්ත්වයක් බව ලැන්සෙට් කතුවැකිය අවධාරණය කරයි.