පෙබරවාරි මාසයේදී එක්සත් ජනපදයට තුන්වැනි කොවිඩ්-19 එන්නත ලැබෙනු ඇතැයි එරට ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් හි ප්‍රධාන විද්‍යාත්මක උපදේශක මොන්සෙෆ් ස්ලූයි පවසයි.
ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් යනු කොවිඩ්-19 එන්නත් සංවර්ධනය කිරීම, නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම පහසු කිරීම සහ වේගවත් කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් ආරම්භ කරන ලද රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයකි.
ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ස්ලූයි පැවසුවේ, "සුදුසු කාර්යක්ෂමතාව සහ ආරක්ෂිත පැතිකඩ සාක්ෂාත් කරගන්නේ නම් පෙබරවාරි මාසය තුළ තුන්වැනි එන්නත ලබාගැනීමට අප බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.
දැනට පවතින ෆයිසර් සහ මොඩෙර්නා යන කොරෝනා වෛරස එන්නත් දෙකම දෙසැම්බර් මස අවසානයට පෙර හදිසි භාවිතය සඳහා අවසර ලබාදිය හැකිය. එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ එන්නත හා අදාළ ජීව විද්‍යාත්මක නිෂ්පාදන උපදේශක කමිටුව බ්‍රහස්පතින්දා රැස්වී ෆයිසර් එන්නත් අපේක්ෂකයා ඉදිරිපත් කළ අයදුම්පත හදිසි භාවිත අවසරය සඳහා සාකච්ඡා කරනු ඇත. එසේම මොඩෙර්නා එන්නේ අපේක්ෂකයා සඳහා ලබන සතියේද එවැනිම රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
තුන්වන අදියර අත්හදා බැලීම්වල යෙදී සිටින ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ඇතුළුව අනෙකුත් එන්නත් සංවර්ධනය වෙමින් පවතින බව ස්ලූයි සඳහන් කළේය. විශේෂයෙන්ම මෙම වසංගතය තුළ එක් මාත්‍රාවකින් පමණක් ලබාදිය හැකි එන්නතක් පවතින්නේ නම් එය විශාල වාසියක් බවද ඔහු පැවසීය.
මීට සමාන තාක්ෂණයක් භාවිත කරන ඇස්ට්‍රාසෙනෙකා එන්නත තුන්වැනි අදියර අත්හදා බැලීම්වල ද පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.