දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමග ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් වාර්තා විම ඉහළ අගයක් ගෙන ඇත.
එබැවින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි ජාතික මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
විශේෂයෙන්ම උණ රෝග තත්ත්වයන් වැළදී දින 02ක් ඇතුළත ඩෙංගු NS1 පරීක්ෂාව රජයේ රෝහලකින් සිදු කර ගන්නා ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. එමඟින් ඩෙංගු වෛරසය ශරීරගත වී ඇති බවට පූර්ව හඳුනාගැනිමක් සිදු කළ හැකි බැවින් ප්‍රතිකාර පහසු වන බව ඒ මහතා පෙන්වා දෙයි. එමෙන්ම උණ රෝග තත්ත්වයක් වැළදී ඇති අවස්ථාවල දී පැරසිටමෝල් වර්ගයේ වේදනා නාශක ඖෂධ පමණක් භාවිතා කරන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
ඩෙංගු NS1 පරීක්ෂාව සහ පූර්ණ රුධිර පරීක්ෂාව (FBC) යන රුධිර පරීක්ෂණ සියලුම රජයේ රෝහල් වලදී නොමිලේ සිදු කර ගත හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. එමෙන්ම ඩෙංගු රෝගීන් සදහා ප්‍රතිකාර කිරිමට අවශ්‍ය නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණ මේ වනවිට රෝහල්වලට ලබාදීමට ද කටයුතු කර ඇති බව රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පවසයි.
විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් දිස්ත්‍රික්ක 22 කේන්ද්‍ර කර ගනිමින් පසුගිය 31 දින සිට අද දින (06) දක්වා ක්‍රියත්මක කිරීමට වසංගත රෝග විද්‍යා අංශයේ ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබුණි. එම මදුරු මර්දන වැඩසටහනේ දී පරිශ්‍ර 60,000 ක් පමණ පරික්ෂාවට ලක් කර ඩෙංගු කීටයින් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 700කට පමණ නීතිමය පියවර ගැනීමට ද කටයුතු කර ඇති අතර, ඉන් බොහෝමයක් කර්මාන්ත ශාලා, ඉදිකිරීම් සිදු කරන වැඩබිම් සහ ආගමික ස්ථාන බවට හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කරයි.
කොළඹ, ගම්පහ, කළුතර, මාතර, ගාල්ල, වවුනියාව, නුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සහ පළාත් වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා තවදුරටත් සෙනසුරාදා සහ ඉරිදා දිනයන් හිදී ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
2018 වර්ෂය තුළ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 51,659 ක් වාර්තා වූ අතර, 2019 නොවැම්බර් මාසය වනවිට ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 64,290ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වි ඇත.
ඒ අනුව ජනවාරි මස 5,580 ක්ද, පෙබරවාරි මස 3,736 ක්ද, මාර්තු මස 3,832 ක්ද, අප්‍රේල් මස 2,970 ක්ද, මැයි මස 4,260 ක්ද, ජුනි මස 5,996 ක්ද, ජුලි මස 8,843 ක්ද, අගොස්තු මස 9,461 ක්ද, සැප්තැම්බර් මස 7,195 ක්ද, ඔක්තෝබර් මස 10,505 ක්ද, නොවැම්බර් මස මේ වනවිට 1,912 ක්ද වශයෙන් වාර්තා වි ඇත.
මෙම වසරේ වැඩිම ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් වාර්තා වී ඇත්තේ මෙම වර්ෂයේ ඔක්තෝම්බර් මාසය තුළ වේ.