නීති රීතිවලට කොටු වී සාම්ප්‍රදායික කර්මාන්ත බිඳ වැටීමට ඉඩ දිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
සාම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි සංවේදී නොවන නීති සකස් කිරීමෙන් එම කර්මාන්ත මෙන්ම දේශීය කර්මාන්තකරුවාගේ ජන ජිවිතය ද බිඳ වැටි ඇති බව ඔහු පෙන්වා දෙයි. වැරදි කරන සුළු පිරිසක් නිසා නීත්‍යානුකූලව කර්මාන්තවල නිරත ජනතාව අසරණ නොකළ යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටී.
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා නිලධාරීන් නිර්මාණශීලිව ක්‍රියාකාරීම අවශ්‍යතාවක්. බිම් මට්ටමේ ගැටළු කෙරෙහි ප්රමුඛ අවධානය යොමු කළ යුතුයි. රජය ගන්නා තීරණ බිම් මට්ටමින් ක්‍රියාත්මක වන්නේදැයි පසුවිපරම අත්‍යවශ්‍ය සාධකයක්. දිගුකාලීනව නිසි අවධානයට ලක් නොවූ පාරම්පරික කර්මාන්ත සංවර්ධනය සැලසුම්සහගතව කළයුතු කාර්යයක්.” යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එක් එක් ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළේ එබැවින් යැයි ඔහු පැවැසීය.
රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා සාම්ප්‍රාදියක කර්මාන්තකරුවෝ කනස්සල්ලෙන් පසු වූහ. පසුගිය මැතිවරණ සමයේ තමා රට පුරා කළ චාරිකාවේ දී එය පැහැදිළිව අනාවරණය වූ බව රාජපක්ෂ මහතා පැවසීය.
වේවැල්, පිත්තල, මැටි සහ ලී බඩු ක්ෂේත්‍ර ඇතුළු ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්රයේ මතුව ඇති ගැටළු පුළුල්ව සාකච්ඡා කෙරිණ. ගැටළු විසඳමින් කර්මාන්ත නගා සිටුවීමට කෙටි කාලීන සහ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කොට ඒවා නිරතුරුව පසුවිපරමට ලක් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය. මැටි ප්‍රවාහනයේ දී සහ මැටි ලබා ගැනීමේදී කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටළු සොයා බැලීමටත්, දැනට වසා දමා ඇති මැටි ආශ්රිත නිෂ්පාදන ආයතන නැවත විවෘත කිරීමටත් එතුමා නිලධාරීනට උපදෙස් දුන්නේය.
“සාම්ප්‍රදායික කර්මාන්තවල වැදගත්කම ගැන පාසල් අවධියේ සිට දරුවන්ට අවබෝධයක් දිය යුතුයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ නිබන්ධන සඳහා ද සාම්ප්‍රදායික කර්මාන්ත සුදුසු මාතෘකාවක්. එමගින් කර්මාන්තයේ උන්නතියට විශාල දායකත්වයක් දෙන්න පිළිවන්” යැයි ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
දේශීය කර්මාන්ත නගා සිටුවීමේ දී පළාත් අමාත්‍යාංශ, රේඛීය අමාත්‍යාංශ සමග මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ වැදගත්කමත්, ක්ෂේත්රයට තරුණ පරපුර ආකර්ශණය කර ගැනීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට වෘත්තීය වටිනාකමක් ලබාදීම විෂයභාර අමාත්‍යාංශවල වගකීම බව කියා සිටියේය.
“කෘෂිකාර්මික අගයක් නැති වගුරු බිම් වේවැල් වැනි කර්මාන්ත ක්ෂේත්රයේ වගාවන් සදහා භාවිත කිරීමට පිළිවන. හඳුන්කූරු නිෂ්පාදනයට යොදා ගන්නා බම්බු කූරු ආනයනයට වාර්ෂිකව විශාල මුදලක් වැය කෙරේ. ඒවා අප රටේදීම නිෂ්පාදනය කිරීමෙන් පිටරටට ඇදීයන මුදල ඉතිරි කර ගැනීමට මැදිහත්වන්නැයි ද” ජනාධිපතිතුමා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.