නවසීලන්තයේ මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (17දා) ආරම්භ වූ අතර, වත්මන් අගමැතිනී ජසින්ඩා ආර්ඩේන්ගේ වමේ කේන්ද්‍රය ශක්තිමත් කිරීම හෝ ජුඩිත් කොලින්ස්ගේ නායකත්වයෙන් යුතු කොන්සර්වේටිව්වරු ශක්තිමත් කිරීමක් සඳහා ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කරමින් සිටියි.
ඒ අනුව මෙය නවසීලන්තයේ කාන්තාවන් දෙදෙනෙකුගේ බලය උරා බැලෙන මැතිවරණයක් වන අතර, 40 හැවිරිදි කම්කරු පක්ෂ නායිකා ආර්ඩර්න් සහ 61 හැවිරිදි කොලින්ස්, රටේ 53 වැනි පාර්ලිමේන්තුව පිහිටුවීමේ මැතිවරණය හමුවේ මුහුණට මුහුණ සටනක නිරත වෙති.
නවසීලන්ත වේලාවෙන් පෙ.ව. 9.00 ට ඡන්ද මධ්‍යස්ථාන විවෘත වූ අතර, මේ වනවිටත් වාර්තාගත ඡන්දදායකයින් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් රාත්‍රී 7.00 ට ඡන්ද විමසීම අවසන් වනතෙක් ප්රවෘත්ති මාධ්‍යවලට මැතිවරණය පිළිබඳව වාර්තා කළ හැකි දේ සම්බන්ධයෙන් යම් යම් සීමාවන් පැනවී ඇති අතර, ඉන් අනතුරුව මැතිවරණ කොමිසම මූලික ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මිලියන 3.5ක් වන වලංගු ඡන්දදායකයන් පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කරන නවසීලන්ත මහ මැතිවරණය පසුගිය සැප්තැම්බර් 19දා පැවැත්වීමට දින නියමිතව තිබුණත්, ඕක්ලන්ඩ් හි කොවිඩ්-19 පොකුරක් ඉස්මතුවීමත් සමග එය කල් ගියේය.
මේ සියලු තත්ත්වයන් තුළ ලෝකයේ වඩාත් ප්‍රශස්ථ ආකාරයෙන් කොවිඩ්-19 වසංගතය පාලනය කළ රාජ්‍යයක් ලෙස නවසීලන්තය ඉහළට ඔසවා තැබීමට වත්මන් අගමැතිනි ජසින්ඩා ආර්ඩේන්ගේ ක්‍රියාකලාපය තුළ ඇයට යළිත් බලය හිමිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.