ත්‍රිකුණාමල වරායේ මේ වන විට නැංගුරම්ලා තිබෙන බොරතෙල් නැවේ කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම වෛරසය ඔවුන්ගෙන් සමාජගත වීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මේ වන විටත් එම පිරිසට අමතරව තවත් 34 දෙනෙකු නිරෝධායන ලක්කර තිබෙන බවත් තෙල් නැව කොළඹ වරායට පැමිණි අවස්ථාවේ රාජකාරි කටයුතු සඳහා නැවට ඇතුළු වී තිබෙන අය හා ඔවුන්ගේ පවුලේ උදවිය මෙලෙස නිරෝධායනයට යොමු කර තිබෙන බවත් ඒ මහතා පැවසීය .
එළඹෙන ඔක්තෝබර් මස 10 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 වෙනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ දී අද (28) පැවති ආගමික වැඩසටහන් වලට සහභාගී වීමෙන් අනතුරුව යුද හමුදාපතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එසේ පැවසීය .
“කොවිඩ් වෛරස ආසාදිතයකු සමාජයෙන් මතු වූ මාර්තු මස 11 වැනි දින සිට දින 50 ක කාලයකදී වෛරසය සම්පුර්ණයෙන්ම සමාජයෙන් ඉවත් කර දැමීමට හැකියාව ලැබුණා. මේ සඳහා සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, පමණක් නොව ජනතාව ද විශාල කැපකිරීමක් සිදු කළා.”
ෂේන් සෙනෙවිරත්න