නවකවදය සම්බන්ධයෙන් කටයුතු කිරිමේ දී කිසිදු ලිහිල්භාවයකින් තොර ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් . පිරිස් මහතා අවධාරණය කළේය.
අමාත්‍යතුමා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිලධාරීන් ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ද විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් ද සහභාගි කර ගනිමින් වෙන්වෙන් වශයෙන් පැවැත්වු සාකච්ජාවකදි මේ බව සඳහන් කළේය.
විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී කෝවිඩ් 19 හමුවේ වසා දැමුණු විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සහ එහි කටයුතු නිසියාකාරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් කතිකාවට ලක්වුණි.
එසේම, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී දෙමව්පියන් සහ මහජනතාව විසින් ප්රමුඛත්වයෙහිලා සලකනු ලබන ගැටලුවක් වන නවක වදය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය. එහිදී නවක වදය සම්බන්ධයෙන් කටයුතු කිරිමේ දී කිසිදු ලිහිල්භාවයකින් තොර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව අමාත්‍යතුමන් විසින් අවධාරණය කරන ලද්දේය.
මීට අමතරව, නව ලොවට ගැළපෙන පරිදි විෂය නිර්දේශයන් සකස් කිරීම, රැකියා අපේක්ෂාවන් බලගැන්වීම සඳහා භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම, වෘත්තිය උපදේශනය සඳහා ක්රමානුකූල ප්රතිපාදනයන් ඇති කිරීම සහ විශ්වවිද්‍යාල පද්ධතියෙන් පිටත පුද්ගලයින් විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයන්ට සහ කවුන්සිලයන්ට පත් කර ගැනීමේ දී සලකා බැලිය යුතු නිර්ණායකයන් කවරේ ද යන්න සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.