නත්තල් සමයේදී හා නව වසර උදාවේදී පසුගිය වසරට සාපේක්ෂව රෙදි අලෙවිය 35%කින් හා ප්ලාස්ටික් හා ඇලුමිනියම් භාණ්ඩ අලෙවිය 30% - 32%ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා උත්සව සමය ඉලක්ක කරගෙන භාණ්ඩ නිෂ්පාදනය කළ කුඩා කර්මාන්තකරුවන් ලක්ෂයකට අධික පිරිසක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව එම සංගමයේ සභාපති නිරුක්ෂ නන්ද කුමාර මහතා සඳහන් කළේය.
බොහෝ කර්මාන්තකරුවන් බැංකු ණය ලබාගෙන හෝ භාණ්ඩ උකස් කර භාණ්ඩ නිෂ්පාදනය කරන බවද ඔහු පවසා සිටියේය.
අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම, සේවක වැටුප් ඉහළ යෑම, විදුලි බිල වැනි කරුණු නිසා පසුගිය වසරට සාපේක්ෂව නිමි ඇඳුම් හා භාණ්ඩ මිල 10% - 15%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එහෙත් බදු සහන හා බදු වංචා කර විදේශ රටවලින් ගෙන්වන භාණ්ඩ අඩු මිලට අලෙවි කිරීම නිසා දේශීය කර්මාන්තකරුවන්ට මෙම තත්ත්වය උදා වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
සමස්තයක් ලෙස පසුගිය වසරේදී රෙදි අලෙවිය 30% - 35%ත් අතර ප්‍රමාණයකින් අඩු වී තිබෙන බවද නිරුක්ෂ නන්ද කුමාර මහතා පවසා සිටියේය.
දේශීය කර්මාන්ත රැකගැනීමට නම් බදු සහන අවශ්‍ය බවත්, විදේශීය රටවලින් ගෙන්වන භාණ්ඩවලට නිවැරදි ලෙස බදු අය කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.