වසර ගනනාවක් පළාත් පාලන ආයතන වල අනියම් සහ ආදේශක ලෙස සේවය කළ සුලු සේවකයින් ස්ථීර නොකර සේවාවෙන් ඉවත් කර වත්මන් ආණ්ඩුව ලබා දුන් රැකියා ලක්ෂයේ සේවකයින් එම පුරප්පාඩු වලට යොමු කිරීම අසාධාරණ සහ සේවක අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව පවසමින් උතුරු මැද පළාත් අනියම් ,ආදේශක සේවකයින් මේ වන විට දින තුනකට ආසන්න කාලයක් අනුරාධපුර නගරසභාව ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව ඇත.
මෙම හේතුවෙන් මේ වන විට උතුරු මැද පළාත් පාලන ආයතන 28 ක සේවය කළ සනීපාරක්ෂක සේවකයින් , මාර්ග නඩත්තු කම්කරුවන්, පුස්තකාල සහයක සේවකයින්, කාර්යාල කාර්යය සහයක, වරිපනම් සහ කළමනාකරණ සහකාර සේවයේ වැඩ ආවරණය කළ අනියම් සේවකයින් 846 දෙනෙකු සිය සේවාවන් වලින් සම්පූර්ණයෙන්ම ඉවත්ව ඇත.
ඒ අනුව අනුරාධපුර පූජා නගරය ඇතුලු නගරාසන්න ප්‍රදේශ වල අප ද්‍රව්‍ය ගොඩ ගැසෙමින් තිබෙන බවද පළාත් පාලන ආයතන වල අනිකුත් සේවාවන් අක්‍රීය වී ඇති බවට ද වාර්ථා වේ. මේ ගැටලුව හමුවේ උතුරු මැද බලධාරින් නිහඩව සිටින බවයි වැඩි දුරටත් සත්‍යග්‍රහයේ නිරත වූ පිරිස පැවසුවේ.
මේ වන විට බලධාරින්ගේ අවධානය යොමු නොකිරීමෙන් තම වෘත්තීන් අහිමි වී යාමේ තත්ත්වයට මුහුණු දී තිබෙන සේවකයින් අප ඒ පිළිබඳ කළ විමසීමේදී මෙසේ කීය,
ඩී.වී.පී.එන්. සී. කරුණාරත්න මහතා.
මෙරට පවතින ආර්ථික අර්බුධ සමයේ අපිට මේ කරන අසාධාරණය අපි තරයේ හෙලා දකිනවා. අපිට අවුරුදු නෑ කියමුකො. අපේ දරුවන්ට අවුරුදු සමරන්න තිබෙන සිහිනයත් අද වත්මන් ආණ්ඩුව ඇතුලු බලධාරින් අපි රඅකියාවෙන් එලියට දාලා උදුරා ගත්තා. අපිට දෛනික වැටුපක් ලැබුනේ මේ වන තෙක්. මගේ සේවා කාලය අවුරුදු 09 යි. දැන් මට වයස 48යි. අපිව මේ විදිහට බල්ලෝ බළල්ලු වගේ පාරට ඇදලා දැම්මට පස්සේ අපේ පවුල් වල දරුවන් ජීවත් කරන්නේ කොහොමද. අපිට හොරකම් කරන්න කියලද කියන්නේ. අපි මේ සත්‍යග්‍රහය අඛණ්ඩව සිදු කරනවා. අපිට සාධාරණයක් අවශ්‍යයි. අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ පත්වීම් ස්ථීර කරන්න කියලයි. එහෙම කළේ නැත්තම් ගෙවල් වල ඉන්න පවුල්, යහලුවන් අපට සහය දෙන සියලු පාර්ශව සහභාගි කරගෙන ඉදිරියෙදී බලධාරින් ලගට අපි එන්න සූදානම්.
ආර්.ආර්. ඉන්දික මහතා,
රජය විසින් නිකුත් කළ දින 180 සම්පූර්ණ චක්රලේඛණයටත් අපිව ස්ථීර කළේ නෑ. සමහර අයට එදා බදව ගද්දි තිබුණ තනතුර අද වෙන විට ඒ තනතුරු නෑ. ඒවා ආයතන වලින් ඉවත් කරලා. මිනිස් ශ්‍රමය බලධාරින් හූරා කාලා. අපේ වැටුප් දෛනික වුණත් අපේ සේවක අර්ධ සාධක අර මුදල් පවා කපා තිබෙනවා. මෙතන අවුරුදු 12,10, 08, වැනි කාලයක් සේවය කළ පිරිස් ඉන්නේ. දවසේ දෙකේ සේවය කළ රැකියා ලක්ෂය අද ස්ථීර කරද්දි අපි පාරට දාලා. මේ වැඩ දැක්කාම හරිම කණගාටුයි. ලංකාවේ ඉපදුනු එක ගැන හරිම දුකයි. බලධාරින්ගේ දරුවන්ට අද අවුරුදු. අපේ දරුවන්ට ඇදුමක් ගන්න අපේ අතේ සල්ලි නෑ. වහාම මේ පිළිබඳ බලධාරින් සොයා බලා අපිව ස්ථීර කරන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.
මේ පිළිබඳ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගෙන් විමසීමක් කිරීමට අවස්ථා කිහිපයකදී දුරකතන අංකයට ඇමතුම් රැසක් ලබා ගත් අතර එයට ප්‍රතිචාර නොදැක්විය.
හොරෝව්පොතාන - සිඩ්නි රුවන් උබේපාල

