ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමේ සටනේදී රට වෙනුවෙන් තමන්ගේ ඇති කැපවීම පෙන්නුම් කළ රණවිරුවෙකු ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයට පත් කිරීමට ජනපති ගත් තීරණය අගය කරන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පැවැසුහ.
නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (25) මල්වතු අස්ගිරි උභය මහ විහාරයන්ට ගොස් එම පාර්ශවයේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේලා මේ බව පැවසූහ.
ශවේන්ද්‍ර සිල්වා මහතාව ජනතාව හඳුනාගෙන සිටින බවත් එනමුත් විවිධ පාර්ශව වෙතින් බලපෑම් එල්ල වත්දී ඒවා නොතකමින් ඒ මහතා යුද හමුදාපති ධූරයට පත් කිරීම යහපත් තීරණයක් බවද උන්වහන්සේ දෙනම ප්‍රකාශ කර සිටිති.
මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම අවධානය යොමු කළ යුතුව තිබෙන බවද පැවැසුහ.
අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියන් අදහස් දක්වමින් යුද ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ රණවිරුවෙකු ලෙස ප්‍රකට ශවේන්ද්‍ර සිල්වා මහතාට ඕනෑම අභියෝගයක් ජය ගැනීමේ ශක්තිය ඇතැයි ද යුද හමුදාපති ධූරය ශවේන්ද්‍ර සිල්වා මහතාට පිරි නැමීමට ජනපති ගත් තීරණය සම්බන්ධව රටම සතුටුවූ බවද උන්වහන්සේ සඳහන් කළහ.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ නව හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරිම සම්බන්ධයෙන් ඇමරිකාව, කොටි ඩයස්පෝරාව හා උතුරේ දෙමළ දේශපාලනඥයින් සුළු පිරිසක් අකමැත්ත ප්‍රකාශ කර තිබූ නමුත් ජනපති ඒ කිසිවක් ගණන් නොගෙන විය යුතු දේ කර තිබෙන බව ද සඳහන් කළහ.
අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ යුද හමුදාපති ධූරයට සුදුසු අයෙකු පත් කිරීම රාජ්‍යය නායකයා ලෙස ජනපතිවරයාට හිමිවන ස්වාධීන අයිතියක් බවත් ජනපති කිසිවකුගේ බලපෑමට යටත් නොවී එම අයිතිය පාවිච්චි කර තිබෙන බව අනුශාසනාවක් කරමින් සඳහන් කළහ.
චමිල් රූපසිංහ