බ්‍රසීලයේ නිරෝධායන ක්‍රියාමාර්ග නතර කරන ලෙස ඉල්ලා පැවති විරෝධතාවකට සහාය දක්වමින් ඊට සහභාගී වූ බ්‍රසීල ජනපති ජෙයාර් බොල්සොනාරෝ වගකීම් විරහිත ලෙස එහිදී ජනතාව අමතමින් දේශපාලන රැලියක්ද පවත්වා තිබේ.
බ්‍රසීලයේ පළාත් පාලන ආයතන විසින් නිරෝධායන නීති දැඩි කර තිබූ පරිසරයක, ජනාධිපතිවරයා තමාගේ බලය ඉස්මතු කරගැනීමට මෙය අවස්ථාවක් කරගෙන ජනතා උද්ඝෝෂණය මැදට පැමිණ, මුඛ ආවරණයක් හෝ නොමැතිව ජනතාව අමතමින් ඔවුන්ගේ විරෝධතාවට සහාය පළ කර සිය ගොංකම ප්‍රදර්ශනය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
බොල්සොනාරෝ එසේ ජනතාව අමතමින් සිටියදී කිහිප විටක්ම ඔහුට කැස්ස තත්ත්වයක් ඇතිවූ බවද පෙන්වා දෙන විදෙස් මාධ්‍ය, රටේ පාලකයා ආදර්ශයක් නොදී ජනතාවට ආදර්ශමත්ව හැසිරිය හැකි බව ප්‍රකට කළ නොහැකි බව අවධාරණය කරයි. ඔහු සමාජ දුරස්ථකරණ ක්‍රියා සම්බන්ධයෙන්ද තඹයකට මායිම් නොකරන බවක් පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔහුට ලොව බොහෝ රාජ්‍යයන්ගෙන් මෙන්ම, බ්රසීලයේම බුද්ධිමත් ජනතාවගෙන් එල්ලවන බලවත් විරෝධය හමුවේ තමාගේ ක්‍රියාව සාධාරණීකරණය කර ඇති බොල්සොනාරෝ, කිසිදු ප්‍රාන්ත ආණ්ඩුවක් වසා දැමීමට තමා පෞද්ගලිකව ඉල්ලා නොසිටි බවත්, බ්‍රසීලය ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් බැවින්, ශ්‍රේෂ්ඨාධිකරණය මෙන්ම කොංගසය විවෘත හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ යුතුව තිබුණේ යැයි සඳහන් කරයි.
මෙම විරෝධතාවට එක්වූ දහස් ගණන් විරෝධතාකරුවන්ද කියා සිටියේ රට නොව, බ්‍රසීලයේ කොංග්‍රසය හා ශ්‍රේෂ්ඨාධිකරණය වසා දැමිය යුතු බවයි.
මේ සම්බන්ධයෙන්ද මාධ්‍ය වෙතද දොස් නැගූ බොල්සොනාරෝ, මාධ්‍ය විසින් සිදුකරන ප්රකෝපකිරීම් හෝ දොස් නැගීම් තමා භාර නොගන්නා බව කීවේය.
කෙසේ වෙතත් වසංගතය අතරතුර හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් බ්‍රසීලයේ ජාතික සහ පළාත් පාලන ආයතන මිශ්‍ර පණිවුඩ නිකුත් කර තිබේ. බොල්සොනාරෝ දැඩි සීමාවන්ට එරෙහිව නිරෝධායන විරෝධීන් සමග එක පෙළට සිටියදී, රටේ දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවල ප්‍රාන්ත සහ පළාත් පාලන ආයතන පාසල් හා අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දමා ඇති මිනිසුන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස බලකර තිබේ.
ලතින් ඇමෙරිකාවේ කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමකට ලක්වූ රාජ්‍යයක් ලෙස බ්‍රසීලය හඳුනා ගැනෙයි. සඳුදා දිනය වනවිට බ්‍රසීලයේ ආසාදිතයන් 40,743 ක් හා මරණ 2,587ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.