මාළඹේ තොරතුරු තාක්ෂණ විදුහලේ සිසුවකු පැහැරගෙන ගොස් නිරුවත් කොට පහර දෙන ලද බවට චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා, බිරිද ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 17 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (27) නියම කළේය.
මොහොමඞ් සියාම් ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණීය දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සෙසු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
මාළඹේ තොරතුරු තාක්ෂණ විදුහලේ සිසුවකු වු නිපුන රාමනායක නමැත්තා පැහැරගෙන ගොස් ඔහුට පහර දෙන ලද බවට නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ සිද්ධිය සිදු වී වසර හතක කාලයකට පසුවය.
2009 අගොස්තු මස 08 වැනිදාත් අගොස්තු මස 21 වැනිදාත් අතර කාලය තුල මාළඹේ තොරතුරු තාක්ෂණ විදුහලේ සිසුවකු වු නිපුන රාමනායක නමැත්තා පැහැරගෙන ගොස් නිරුවත් කොට ඔහුට පහර දෙන ලදැයි නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩු පවරා ඇත.
මෙම නඩුවෙන් චෝදනා ලැබු සිටින්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුතා වන රවිඳු වාස් ගුණවර්ධන ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශණී පෙරේරා මහත්මිය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ ඉන්දික පුෂ්පකුමාර, ඩබ්.ඞී.ප්‍රියංකර ද සිල්වා, වයි.එම්.ලක්ෂමන් තිලකරත්න, ඞී.එම්.එස්. සදුන් දිසානායක, සහ ශාන්ත සමන් විතානගේ නමැති පොලිස් නිලධාරීන් හයදෙනෙකි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයනවීම යටතේ සාක්කි දුන් දුරකථන සමාගම් වල නිලධාරීන් විසින් මෙම නඩුවට පාදක වු දින නිශ්චිත දුරකථන වලින් ලබාගත් හා එම දුරකථන වලට ලැබුණු ඇමතුම් පිළිබඳ විස්තර අධිකරණය හමුවේ හෙළි කරන ලදී.
සාක්කි විමසීමෙන් අනතුරුව නඩුවේ වැඩිදුර විභාගය ලබන දෙසැම්බර් 17 වැනිදා තෙක් කල් තැබීමට විනිසුරුවරයා නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ චින්තක උඩදෙණිය මහතා සමඟ නීතීඥ දර්ශණ කුරුප්පු මහතාද ජනාධිපති නීතීඥ ශ්‍රිනාත් පෙරේරා මහතාද පෙනී සිටියහ.