සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙත එල්ල වී ඇති ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමුකර ඇති බව ලෝක ප්‍රකට නයිකි සන්නාමය අවධාරණය කරයි.
ඇමෙරිකානු ක්‍රීඩා නිමි ඇඳුම් සන්නාමයක් වන නයිකි, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමග මේ වනවිට ඇ.ඩො.බිලියනයක පමණ ගිවිසුමකට එලැඹ සිටියි.
ඒ.පී. පුවත් සේවය වෙත අදහස් දක්වමින් නයිකි සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, මේ වනවිට උද්ගතව ඇති තත්ත්වය ඉදිරියටත් වඩාත් සමීපව අධ්‍යයනය කිරීමට ඔවුන් කටයුතු කරන බවය.
මේ අතර, රොනාල්ඩෝ සමග තවත් ගිවිසුමකට එලැඹ සිටින EA ස්පෝට්ස් සන්නාමයද මෙවැනිම අදහසක් පළ කර තිබේ.
2009 වසරේදී ලාස් වේගාස් හෝටලයකදී කැත්රීන් මෙයොර්ගා වෙත ලිංගික අඩන්තේට්ටම් කළ බවට 33 හැවිරිදි වියේ පසුවන රොනාල්ඩෝ වෙත චෝදනා එල්ල වී ඇති අතර, ඔහු මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
34 හැවිරිදි හිටපු ඇමෙරිකානු ගුරුවරියක වූ කැත්රීන්, ස්ත්‍රී දූෂණයට එරෙහිව නැගී සිටින #MeToo ව්‍යාපාරයෙන් පන්නරය ලබා සිය කතාව ලෝකයට හෙළි කළ බව ඇගේ නීතීඥයන් පවසා තිබේ.
කෙසේ වෙතත්, රොනාල්ඩෝ රියල් මැඩ්රීඩ් කණ්ඩායම අත්හැර දැවැන්ත මුදල් සම්භාරයක් සමග සම්බන්ධ වූ යුවෙන්ටස් පාපන්දු කණ්ඩායම සිය ක්‍රීඩකයා ආරක්ෂා කරගැනීම සඳහා ට්විටර් පණිවුයකින් අදහස් දක්වා තිබුණේ මෙලෙසිනි.
"මෑත මාස කිහිපය තුළ රොනාල්ඩෝ ඉතා උසස් වෘත්තීය දක්ෂතාවයක් සහ කැපවීමක් සමග ක්‍රීඩා කර තිබෙනවා. අප ක්‍රීඩා සමාජයේ සියල්ලන්ම එය අගය කරනවා."