නේපාලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 100,000ක් ඉක්මවමින් ගෙවීගිය දිනයේ ආසාදිතයන්ගේ නව වාර්තාවක් තබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සෙනසුරාදා එරට නව කොරෝනා වෛරසය ආසාදිතයන් 5,008ක් වාර්තා වූ අතර, එය රටේ මේ දක්වා වාර්තා වූ ඉහළම දෛනික ආසාදන සංඛ්‍යාව බවත්, මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 105,684ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම දකුණු ආසියානු රාජ්‍ය මෑතකදී නව කොවිඩ්-19 ආසාදනවල වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සති හතරක් තුළ දෙගුණ වූ බව අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ්-19 වෛරසයට සම්බන්ධ මරණ 14ක්ද නිවේදනය කළ අතර, මේ සමග රටේ සමස්ත මරණ 614ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව, රටේ සමස්ත ආසාදනවලින් තුනෙන් එකක් පමණ මෙතෙක් වාර්තා වී ඇත්තේ රටේ අගනුවර වන කත්මණ්ඩු නුවරිනි.
මේ අතර, නේපාල සංස්කෘතික, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය යෝගේෂ් භට්ටරායි සෙනසුරාදා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්, තමා කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ බව කීවේය.