නුදුරේදීම අධ්‍යාපන පද්ධතිය තුළ පෙළ පොත්, නිල ඇඳුම්, ගුරු මාරු ඇතුළු සමස්ත ක්‍රියාවලිය දත්ත පාදකයක් (Data Base) ඇසුරින් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනෙන බවත්, මේ නිසා මෙතෙක් එම ක්‍රියාවලීන් තුළ පැවති බොහෝ ගැටලු විසඳි, වඩාත් කාර්යක්ෂමව, නිවැරදිව හා පහසුවෙන් ඉදිරියේ දී මෙම කටයුතු සිදුකිරීමට, හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කුරුණෑගල, දිගම්පිටිය ශ්‍රී පියරතන මහා විද්‍යාලයේ ඊයේ (18) පැවති ද්විතීයික කනිෂ්ඨ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
රජයක් වශයෙන් සංදර්ශන පවත්වනවාට වඩා රටේ පාසල් පද්ධතියෙන් අනාගත ලෝකයට ගැළපෙන දරුවන් බිහිකිරීම වෙනුවෙන් අවශ්‍ය නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම තම අරමුණ බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.
අධ්‍යාපනයට විෂය භාර අමාත්‍යවරයෙක්, ලේකම්වරුන්, අධ්යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් සහ ගුරුවරුන් සිටිනුයේ පවත්නා තත්ත්වය ඒ අයුරින් පවත්වාගෙන යාමට නොවන බවත්, පැහැදිලි අනාගත දැක්මක් සහ අරමුණක් සහිත ව දරුවන් නව ලොවට රැගෙන යාම වෙනුවෙන් නිර්මාණශීලී ව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.
එමෙන් ම, සිසු දරුවන්ට අනාගත වැඩ ලොව ජය ගත හැකි අයුරින් පාසල් විෂය මාලාව යාවත්කාලීන කිරීමට හා නවීකරණයට පියවර ගෙන ඇති බවත්, සම්පූර්ණයෙන් ම විෂය නිර්දේශය ඇසුරින් පෙළ පොත් සහ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම මේ වනවිට සිදුකෙරෙන බැවින් අතීතයේ මෙන් විභාග ගැටලු බහුලව අසන්නට නොලැබෙනු ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ය.
පළාත් සභා පවා වෙනම ක්‍රියාත්මකව පවතින පසුබිමක, දරුවන්ගේ යහපත වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය තුළ විප්ලවීය ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නංවන්නට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා පැවසීය.
කෂිනි හපුආරච්චි