ගම්පහ, පල්ලේවෙල පොලිස් වසමේ පොත්තෙවෙල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකුගෙන් සහ ඔහුගේ ගෝලයන් පිරිසකගෙන් නීතිවිරෝධී මත්පැන් මිලට ගෙන පානය කළ බව පැවසෙන පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයන් 15 දෙනෙකු රෝගාතුරු වී රෝහල්ගත කර ඇතැයි පල්ලේවෙල පොලීසිය පවසයි.
පසුගිය 01 වැනිදා සිට ගතවූ දින කීපය තුළ බාඳුරාගොඩ, පොත්තේවෙල, ගස්පේ, උඩුල්ල, වත්තේමුල්ල, වඩිතියාවල, වලව්වත්ත සහ මීරිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් ලේ වමනය කිරීම ඇතුළු විවිධ රෝග සම්බන්ධයෙන් හදිස්සියේ රෝගාබාධිත වී මීරිගම, දිවුලපිටිය සහ වතුපිටිවල පිහිටි රෝහල් වෙත ඇතුළත් වී තිබිණි.
මියගිය පුද්ගලයන් සහ රෝහල්ගත වූවන් අවුරුදු 45ත් 82ත් අතර පසුවන්නන් බවත්, ඔවුන් කුලී වැඩ කර ජීවත්වන්නන් බවත් පොලීසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී රෝගාතුරු වූ පුද්ගලයන් සහ මියගිය පුද්ගලයන් පොත්තෙවෙල ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ නීතිවිරෝධී මත්පැන් ව්‍යාපාරිකයෙකුගෙන් සහ ඔහුගේ ගෝලයන්ගෙන් නීතිවිරෝධී මත්පැන් මිලට ගෙන පානය කර ඇති බවට අනාවරණය වී තිබේ.
එම නීතිවිරෝධී ව්‍යාපාරිකයාගේ නිවස ආසන්නයේ පිහිටි ඉඩමක තිබී පෙරේදා (03දා) පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වී තිබූ අතර, ඊයේ (04දා) දිනයේදී බාඳුරාගොඩ, උඩුමුල්ල ප්‍රදේශයේ අන්නාසිවත්තක මුරගෙයක් තුළ තිබී එම අන්නාසිවත්තේ මුරකරුගේ මළසිරුර හමු වූ බවද පල්ලේවෙල පොලීසිය පවසයි.
බාඳුරාගොඩ, පොත්තේවෙල පදිංචි පුද්ගලයෙක් සිය ගෝලයන් යොදාගෙන වසර 35ක පමණ කාලයක සිට මෙම නීතිවිරෝධී මත්පැන් ජාවාරම සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිස් බුද්ධි අංශ පවසයි.
එසේම සැකකාර නීතිවිරෝධී මත්පැන් ව්‍යාපාරිකයා සමග ඔහුගේ ගෝලයන් දෙදෙනෙකු ඊයේ (04දා) පොලිස් අත්අඩංගුවට පත්ව තිබූ අතර, සිද්ධියට අදාළ පොලිස් පරීක්ෂණ මන්දගාමීව සිදුවීම සම්බන්ධයෙන් එම ප්‍රදේශවාසීහු දැඩි අප්‍රසාදය පළ කරති.
කෙසේ නමුත් සිද්දිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව පොලීසිය පවසා සිටියේය.
එසේම මෙසේ මැත්පැන් පානය කිරීමෙන් පසු රෝගාතුරව මියගිය ජයන්ත රූපසිංහ නමැතාගේ දේහය ඊයේ (04දා) සවස ඔහුගේ අවසන් කටයුතු සඳහා රැගෙන යන අතරතුර මීරිගම - මීගමුව මාර්ගයේ පොත්තෙවෙල ප්‍රදේශයේදී මාර්ගයේ මැද තබා මියගිය අයගේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීහු විරෝධතාවක නිරත වූහ.
මෙම පිරිස පැය භාගයක පමණ කාලයක් විරෝධතාවේ නිරත වූ අතර, නීතිවිරෝධී මත්පැන් ව්‍යාපාරිකයාට හා මෙම සිදුවීමේදී පොලීසියේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්ද ඔවුහු දැඩි විරෝධය පළ කළහ. මෙම විරෝධය හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයද එම කාලය තුළදී බදා ඇති විය.
කෙසේ වෙතත් පල්ලෙවෙල හා කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් මේ අවස්ථාවේ එහි පැමිණ ජනතාව සන්සුන් කිරීමට පියවර ගත් අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් අසාධාරණයක් නොවන්නට සුදුසු පියවර ගන්නා බවද පොලිස් නිලධාරීහු සඳහන් කළහ.
මේ අවස්ථාවේ ජනතාව දැඩි උද්වේගයෙන් අදහස් පළ කරනු ආකාරය දැකගත හැකි වූ නමුත්, අනතුරුව පිරිස දේහයේ අවසන් කටයුතු සඳහා ගෙන යනු ලැබූහ.
මීරිගම - කාන්ති/ ගම්පහ - ටෝනි කරුණානායක