නාකොටික් නිලධාරීන් කුඩු ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායයෙකු බව කියන 'වෙලේසුදා' නැමැත්තා සමග දහස් වාරයකට වඩා දුරකථන ඇමතුම් මගින් සම්බන්ධ වූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට ඊයේ (31දා) දින දැනුම් දුන්නේය.
තමන් යටතේ සිටින නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන තෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා වැඩබලන පොලිස්පතිවරයා නිහඬව සිටියේ නම්, එයත් එක්තරා ආකාරයකට කුඩු ජාවාරමට සහාය දැක්වීමක් බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට ඊයේ (31දා) දින දැනුම් දුන්නේය.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහාය සහ ආශීර්වාදය නොලැබුණේ නම්, කිසිදු බියකින් හා සැකයකින් තොරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට මෙම කුඩු ජාවාරම කර ගෙන යාමට හැකියාවක් නොමැති බව පවසමින් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, කුඩු ජාවාරමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කොට ඔවුන් විදේශත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය නියෝග ලබාගන්නා ලෙසද නියම කළාය.
කුඩු ජාවාරමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නිදැල්ලේ සිටීම විමර්ශනවලට බාධාවක් විය හැකි බවත්, ඔවුන් විදේශගත වීමේ අවදානමක් ඇති බවත් පෙන්වාදුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, ඔවුන් සම්බන්ධයෙන් අදාළ නියෝග ලබාගැනීමට ප්‍රමාද වීම ගැටලුසහගත බවද සඳහන් කළාය.
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරකම්කරුවන් සමග එක්ව කුඩු ජාවාරම් කිරීම හා ආයුධ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ඊයේ (31දා) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබූ අතර, සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිස් නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරීවරයෙකු ප්රමුඛ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන සිදුකරනුයේ විවිධ බාධක මැද්දේ යැයි පැවසීය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඍජු දායකත්වයක් නොලැබෙන බව තම දෙපාර්තමේන්තුවට පෙනීයන්නේ යැයිද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු අධීක්ෂණය කරමින් තම දෙපාර්තමේන්තුව ඍජු දායකත්වයක් නොකළේ නම්, මෙම සිද්ධියේ සැකකරුවන්ට අදාළ සමහර සාක්ෂි මේ වනවිටත් අතුරුදන්වීමට ඉඩකඩ තිබූ බවත් දිලීප පීරිස් මහතා පෙන්වාදුන්නේය.
ලංකාවට ගෙන්වූ හෙරෝයින් සහ ගිනිඅවි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ නිලධාරීන් විසින් බලපිටියේ සිට ගෙන ගොස් නීල් නමැත්තාට ලබාදී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇතැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැනුම් දුන්නේය.
එමෙන්ම, නාකොටික් නිලධාරීන් කුඩු ජාවාරම්කරුවෙකු හා පාතාල නායයෙකු බව කියන %වෙලේසුදා^ නැමැත්තා සමග දහස් වාරයකට වඩා දුරකථන ඇමතුම් මගින් සම්බන්ධ වූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ගිනිඅවි සහ උණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමට නියම කරන්නැයිද සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් 32,4130ක් බැංකු ගත කිරීමට නියම කරන්නැයිද දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය ඒ සඳහා අවසර දුන්නාය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන 14 වැනිදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන් එතෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළාය. සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ලබන 14 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය මේ පිළිබඳ විමර්ශන සිදුකරන රහස් පොලිස් නිලධාරීන්ට නියම කළාය.