දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් සිදු කළ ප්‍රකාශයට ව්‍යවස්ථානුකූල පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ ඔහුට විරුද්ධව එසේ කටයුතු කරනවා සේම අරගලය කාලේදී අරගලේ ඉදන් බෞද්ධ ආගමට විරුද්ධව කතා කළ අයට විරුද්ධවත්, දළදා මලිගාව ගැන විරුද්ධව කතා කළ අයට විරුද්ධවත් අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවයි.
ගම්පහ, ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (17) දින මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ප්රශ්නය - ඇමතිතුමනී මේ වනවිට ඔබතුමාලාගේ හිටපු ආණ්ඩුකාරවරු ඉවත් කිරීමක් සිදු වනවා.
පිළිතුර - ආණ්ඩුකාරවරු පත් කිරිමත්, ඉවත් කිරීමත් යන වගකීම තිබෙන්නේ ජනාධිපතිතුමාටයි. ඒ අනුවයි එය සිදුවෙමින් පවතින්නේ.
ප්රශ්නය - ඔබතුමන්ලාගේ ජනාධිපතිතුමා යටතේ ආණ්ඩුකාරවරු පත් කිරීම් කරා. පවතින ආණ්ඩුවත් එක්ක එය ඔබතුමා දකින්නේ කොහොමද? එය සාදාචාරද?
පිළිතුර - නෑ, ඒ දේ ඇති වැරැද්දක් නෑ. හැම ආණ්ඩුවක්ම අලුත් ජනාධිපතිවරු පත් වූණාම ජනාධිපතිවරු ඒ ඒ අවස්ථාවන්වලදී ආණ්ඩුකාරවරු පත් කිරීම් සිදු කරනවා. මේ වෙලාවෙදිත් සිද්ධ වුණේ ඒකයි. ඉදිරියටත් සිදු වන්නේ එයයි.
ප්රශ්නය - ඇමතිතුමනී ඉදිරියේදීත් නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිධුරයට පත්වනවා කියා කියනවා.
පිළිතුර - එය බංකොලොත් මාධ්‍යවේදීන් කරන ප්‍රචාරයක්. රටේ එහෙම තීන්දුවක්වත් සාකච්ඡාවක්වත් පොහොට්ටුවේවත්, ආණ්ඩුව තුළවත් සිදු වෙලා නෑ.
ප්රශ්නය - ඔබතුමා මේකට සුදුසු නැද්ද? ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගත් නිසා.
පිළිතුර - මනාප හා අනෙක් දේවල්වලට වඩා වැදගත් ජ්‍යෙෂ්ඨත්වය හා කළ ක්රියාකරකමුයි. ඒ අනුවයි දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා මේ අවස්ථාවේ පත් කර තිබෙන්නේ. ඒ පත් කළෙත් අපේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේයි. පක්ෂයක් ලෙස ගත් තීන්දුවක් මත සුදුසුම කෙනාව මේ වනවිට පත් කර තිබෙනවා.
ප්රශ්නය - ඇමතිතුමනී මේ වනවිට ටී එන් ඒ පක්ෂයට පක්ෂව ආණ්ඩුකාරවරු ඉවත් කළා කියලා කතාවක් විපක්ෂය කියනවා ?
පිළිතුර - දෙමළ පක්ෂ නියෝජනය කරන අය වයඹ පළාතේ නෑනේ. ඒකත් යමක් කමක් කර ගන්න බැරි මේ රට ආගාධයට යවන බොරු කට කතා කරන කණ්ඩායම් විසින් කරන දෙයක් කියලායි මම දකින්නේ.
ප්රශ්නය - ටී එන් ඒ පක්ෂයට ආණ්ඩුව පක්ෂව වැඩ කරනවා කියන්නේ ඇත්තද?
පිළිතුර - අරගලය කාලේ මොකක්ද වුණේ. අරගල කාලයේ ගෝල්ෆේස් එකේ එහෙම දේවල් වුණේ නැද්ද? සිංහල ජාතියත් නෑ, ආගමත් නෑ, මේ රට මෙහෙමයි කියලා හමුදුරුවරු කතා කරලා කිව්වේ නැද්ද. ඒ වෙලාවේ කවුරුත් එයට විරුද්ධ වුණේ නෑනේ. ආණ්ඩුවක් යමක් කරන්න හදද්දි එක එක්කෙනා එක එක කතා කියනවා. අරගලයේ පන්සලයි, පල්ලියයි ඔක්කොම හිටියා. සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සු ඔක්කොම හිටියා. එතකොට ඒ ඔක්කොම කරන්න හොඳයි. හැබැයි යම් කිසි වැඩ පිළිවෙලක් කරලා විසඳුමක් හදන්න යනකොට දැන් ඒවාට කෑ ගහනවා. ඒ ගැන රටේ ජනතාව බුද්ධිමත් ලෙස බලයි.
ප්රශ්නය - ඇමතිතුමා ආණ්ඩුකාරවරු තුන්දෙනෙක් ඉවත් කිරීම සම්බන්ධව හා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දි රනිල් මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් මහත්තයා දෙන්නා එකතු වෙලා එයි. එතකොට පොහොට්ටුවට මොකද වෙන්නේ.
පිළිතුර - අපි කවුරුත් ජනාධිපතිවරයෙක් නම් කරලා තියෙනවද? ජනාධිපතිවරණයට දිනයක් නියම කරලා තියෙනවද? ජනාධිපතිවරණය එනකොට හොඳම සුදුස්සාට මේ රටේ ජනාධිපතිවෙන්න අවශ්‍ය සහයෝගය දෙනවා.
ප්රශ්නය - රනිල් මහත්තයා අවොත් ඔබතුමන්ලා සහයෝගය දෙනවද?
පිළිතුර - ඔබතුමා පිළිගන්නවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා සුදුස්සා කියලා අපි ඒකට සහයෝගය දෙනවා.
ප්රශ්නය - ඇමතිතුමා පාස්ටර් කෙනෙක් බුදු දහමට එරෙහිව චෝදනා කර තිබෙනවා.
පිළිතුර - පාස්ටර්ට විරුද්ධව ව්‍යවස්ථානූකූලව අපිට කටයුතු කරන්න පුළුවන්. අරගලේ ඉදන් බෞද්ධ ආගමට විරුද්ධව එතැන ඉදන් කතා කළ අයට විරුද්ධව, දළදා මලිගාව කතා කළ අයට විරුද්ධවත් කටයුතු කරන්න ඕනේ. මේ එක එක කාලවල එන එක එක්කෙනාගේ හොල්මන් තමයි මේ ඉදිරිපත් වෙන්නේ. රට ගැන හිතලා වැඩ කරන මිනිස්සු ඔය ගැන හිතන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක කිරීමට ඒ ආයතනවලට බාර දීලා රට ගැන හිතලා අපි ඉදිරියට වැඩ කරගෙන යන්න ඕනේ.
ප්රශ්නය - ඩෙංගු සම්බන්ධව ඉදිරි වැඩපිළිවෙල මොකක්ද?
පිළිතුර - මුළු රටේම ඩොංගු අවධානම ගැන රජය අවධානය යොමු කර තිබෙනවා. ඒ වෙනුවෙන් ජනාධිපති මෙහෙයුම් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ හරහා දිස්ත්‍රික් කමිටු, ප්‍රාදේශීය කමිටු හරහා මේකට මෙහෙයුමක් කරන්න කටයුතු කර තිබෙනවා. ඒ සදහා පළාත් පාලන ආයතන හා ග්‍රාමීය කමිටු සම්බන්ධ කරගෙන ගමේ ජනතාව රැක ගැනීම ග්‍රාමීය කමිටුවල වගකීමක්. ඒකට අවශ්‍ය කරන සහයෝගය ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සෞඛ්‍ය දෙපාර්තුමේන්තු, ජනාධිපති කාර්යාල, අග්‍රාමාත්‍ය කාර්යාල, මැදිහත් වෙලා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න මේ වනවිටත් කටයුතු කර තිබෙනවා.
ප්රශ්නය - මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල්වල ඩෙංගු රෝගීන් වැඩිවීමක් තිබෙනවා. ඔවුන්ගේ ප්‍රතිකාර හා ඖෂධ තත්ත්වය කොහොමද?
පිළිතුර - රෝහල්වලට එන ප්‍රමාණයෙන් දිස්ත්‍රික්කයේ තත්ත්වය මැන ගන්න අමාරුයි. තියෙන තත්වයෙන් රටේ ජාතික වැඩපිළිවෙලක් ලෙස හැමතැනටම එක විදියට සෞඛ්‍ය අංශ වලින් ඒ කටයුතු සිදු කරනවා.
