ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම මහත්මියට කරන ද්වේශ සහගත ප්‍රකාශය අග්‍රාමාත්‍ය කාර්යාලය හෙළා දකින බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පතිවරයාට උපදෙස් දුන් බවත් අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරෝධය දක්වමින් ඇය කළ ප්‍රකාශයක් මේ සඳහා හේතු වී තිබේ. ඇයගේ මෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාවේ අනෙකුත් කොමසාරිස්වරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස උපදෙස් දී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
එහි මෙසේද සඳහන් වෙයි,
“ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම මහත්මියට එරෙහිව කරන ලද ද්වේශ සහගත ප්‍රකාශය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් තරයේ හෙළා දකින අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමට පොලිස්පති වෙත උපදෙස් ලබා දී ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව පත් කරන ලද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වාධීනව ක්‍රියාත්මක වන ආයතනයකි.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේ තර්ජනයට ලක්වීමත් සහ එවැනි වගකීම් රහිත ප්රකාශනයන් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඉස්මතු කිරීමත්, බරපතළ කාරණයකි.
සභාපතිනියගේ හා මානව හිමිකම් කොමිෂන් සභාවේ අනෙකුත් කොමසාරිස්වරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසටත් පොලිස්පති වෙත තවදුරටත් උපදෙස් ලබා දී ඇත.”
