තමාට එරෙහිව එල්ල වී ඇති දෝෂාභියේගය සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකළ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ප්රචණ්ඩත්වය හෙළා දකිමින් පසුගියදා කැපිටල් ගොඩනැගිල්ලේ සිද්ධියට සහභාගී වූ පිරිස් තමාගේ සැබෑ ආධාරකරුවන් නොමැති බවට කතාවක් පමණක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී පසුගිය සතියේ සිදුවීම්වලට තුඩුදුන් ඔහුගේම ක්‍රියා සම්බන්ධයෙන් මෙම කතාවේදී කිසිදු වගකීමක්ද නොගත් ට්‍රම්ප්, "මා විශ්වාස කරන සෑම දෙයකටම සහ අපගේ ව්‍යාපාරය නියෝජනය කරන සෑම දෙයකටම මැර ප්රචණ්ඩත්වය විරුද්ධයි" යනුවෙන් පැවසීය.
"මගේ සැබෑ ආධාරකරුවෙකුට දේශපාලන ප්රචණ්ඩත්වය අනුමත කළ නොහැකියි. මගේ සැබෑ ආධාරකරුවෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ අපගේ ශ්‍රේෂ්ඨ ඇමෙරිකානු ධජයට අගෞරව කළ නොහැකියි. මගේ සැබෑ ආධාරකරුවෙකුට තම සෙසු ඇමරිකානුවන්ට තර්ජනය කිරීමට හෝ හිරිහැර කිරීමට නොහැකියි. ඔබ මේ කිසිවක් කරන්නේ නම්, ඔබ අපගේ ව්‍යාපාරයට සහාය නොදක්වයි. ඔබ එයට පහර දෙයි. ඔබ අපේ රටට පහර දෙයි. අපට එය ඉවසා සිටිය නොහැකියි." ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මෑත දිනවල තමා තහනම් කළ සමාජ මාධ්‍ය සමාගම් ගැන සඳහන් කරමින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට පෙර නොවූ විරූ ප්‍රහාරයක් ඇති බව ට්‍රම්ප් කියා සිටියේය.
ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම වීඩියෝ පණිවුඩය කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ ආක්‍රමණයෙන් පැය කිහිපයකට පසුව ඔහු නිකුත් කළ කෝලාහල පිළිබඳ ඔහුගේ පළමු පණිවිඩයට වඩා හාත්පසින්ම වෙනස් අදහසක් ගෙනහැර පෑමක් බවය.
ඔහු එම වීඩියෝ ප්රකාශයේදී විරෝධතාකරුවන් අමතා "අපි ඔබට ආදරෙයි" සහ "ඔබ ඉතා විශේෂයි" ආදී වචන භාවිත කරමින් කතා කළේය.