ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ධුර කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකරන බවට තමන් හොඳින්ම දන්නා බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එසේම පළාත් සභා ඡන්ද විමසීම ජනපතිවරණයට පෙර පැවැත්වීමට නම් ඒ පිළිබඳව නිශ්චිත තීන්දුවක් තවත් දින 10ක් ඇතුළත ලැබිය යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේය.
අනුරාධපුරයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“ජනාධිපතිවරණයට කලින් පළාත් සභා ඡන්ද විමසිම තියන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. නමුත් අපි ජනාධිපතිවරණය නොවැම්බර් 15ත් දෙසැම්බර් 7ත් අතර තිබෙන බව දන්නවා. පළාත් සභා ඡන්ද විමසීම ජනපතිවරණයට කලින් තබන්න නම් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් තවත් දින 10කට කලින් නොලැබුණොත් අපිට ජනපතිවරණයට පෙර එය තියන්න බෑ.
ජනපතිවරණයට පස්සේ හරි පළාත් සභා ඡන්ද විමසීම තියන්න ඕන කියලා පනතක් හරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි දේශපාලන පක්ෂවලින් ඉල්ලා තිබෙනවා. එතුමා (ජනධිපතිතුමා) මතය (ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය) විමසන්නේ නෑ. කාලය දීර්ඝ කර ගැනීමට යන්න අදහසක් නෑ කියන එක අපි හොඳටම දන්නවා.”