බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (මැයි 29දා) වෙස්ට්මිනිස්ටර් ආසන දෙව්මැදුරේදී සිය පෙම්වතිය වූ කැරී සිමන්ඩ්ස් සමග විවාහ දිවියට එක්ව ඇති අතර, උත්සවය කල්තියා ප්‍රකාශයට පත් නොකර අවසාන මොහොතේ අමුත්තන්ට පවා ආරාධනා කරමින් රහසේම සිදුකර තිබේ.
මේ නිසා ජොන්සන්ගේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පවා විවාහ සැලසුම් පිළිබඳව කලින් නොදැන සිටි බව කියැවෙයි.
"අගමැති සහ සිමන්ඩ්ස් මහත්මිය ඊයේ පස්වරුවේ වෙස්ට්මිනිස්ටර් ආසන දෙව්මැදුරේ පැවති කුඩා උත්සවයකදී විවාහ වූවා" යැයි ජොන්සන්ගේ කාර්යාලය ඉරිදා පැවසීය. "විවාහපත් යුවළ ලබන ගිම්හානයේදී පවුලේ අය සහ මිතුරන් සමග ඔවුන්ගේ විවාහ උත්සවය සමරනු ඇති."
56 හැවිරිදි ජොන්සන් සහ 33 හැවිරිදි සිමන්ඩ්ස් 2019 දී ජොන්සන් අගමැති ධුරයට පත්වූදා සිට ඩව්නිං වීදියේ එකට වාසය කරති.
ඔවුන් විවාහ ගිවිසගෙන සිටි බව පසුගිය වසරේ නිවේදනය කළ අතර, ඔවුන්ගේ පුත් විල්ෆ්රඩ් ලෝරි නිකලස් ජොන්සන් 2020 අප්‍රේල් මාසයේදී උපත ලැබීය.
අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කරන ලද මංගල ඡායාරූපයක දැක්වෙන්නේ උත්සවයෙන් පසු යුවළ ඩව්නිං වීදියේ අංක 10 නිවසේ වූ උද්‍යානයේ සිනාසෙමින් සිටින අයුරුයි. සිමන්ඩ්ස් දිගු සුදු ගවුමක් හැඳ, හිසෙහි මල් කලඹකින් සැරසී සිටි අතර, ජොන්සන් සුපුරුදු ඇඳුමට නිල් පැහැති ටයි පටියක් සහ මල් බොත්තමකින් සැරසී සිටියේය.
උත්සවයට පැමිණි පිරිස සීමා කර තිබුණේ, කොවිඩ් -19 සීමාවන් හේතුවෙන් එංගලන්තයේ විවාහ මංගල්‍යයන් 30 දෙනෙකුට සීමා කර ඇති නිසාය.
සෙනසුරාදා දහවල් 1.30ට ආසන දෙව්මැදුර හදිසියේම අගුලු දමා තිබූ බවත්, විනාඩි 30කට පසුව සයිමන්ඩ්ස් ලිමෝ රථයකින් පැමිණි බවත් මාධ්‍ය වාර්තා කළේය.
මේ මස මුලදී සන් පුවත්පත වාර්තා කර තිබුණේ 2022 ජූලි මාසයේ පැවැත්වෙන විවාහ උත්සවයට ජොන්සන් යුවළ මිතුරන්ට හා පවුලේ අයට ආරාධනා යවා ඇති බවය.
කෙසේ වෙතත් වරක් බ්‍රිතාන්‍යයේ ටැබ්ලොයිඩ් මාධ්‍ය විසින් "බොන්කින් බොරිස්" ලෙස ජොන්සන් හැඳින්වූයේ ඔහුගේ වඩාත් සංකීර්ණ පෞද්ගලික ජීවිතයක් පවතින නිසාය.
අවිවාහක සම්බන්ධතාවක් ගැන බොරු කීම නිසා විපක්ෂයේ සිටියදී ඔහුව වරක් කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රතිපත්ති කණ්ඩායමෙන්ද ඉවත් කරන ලදී. ඔහු දෙවරක් දික්කසාද වී ඇති අතර, ඔහුට දරුවන් කීදෙනෙක් සිටිනවාදැයි පැවසීම ප්‍රතික්ෂේප කරයි.
ජොන්සන්ගේ අවසන් විවාහය වූයේ මරීනා වීලර් නම් නීතීඥවරියකි. ඔවුන්ට දරුවන් හතරදෙනෙකු සිටියද 2018 සැප්තැම්බර් මාසයේදී ඔවුන් වෙන් වූ බව නිවේදනය කළේය.