දිවයින පුරා සිටින සංචාරක රියදුරන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය හා පුහුණුව ලැබීම අනිවාර්ය කරන බවත් මෙරටට පැමිණෙන සංචාරකයන්ට ප්‍රමිතියෙන් යුත් උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
කටුනායක ගුවන්තොටුපලේ ට්‍රැවල් කවුන්ටර්ස් ක්‍රමය අහෝසි කර සංචාරක මාර්ගෝපදේශ රියදුරන් සූරාකෑම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවධානය යොමුව ඇතැයි බව පැවසූ ඇමතිවරයා ඒ හරහා සංචාරකයන්ට සිදුවන පීඩාවන් නැති කිරීමට කටයුතු කරන බවද කීවේය.
කටුනායක ගුවන්තොටුපල සංචාරක මාර්ගෝපදේශ රියදුරන්ගේ සංගමයේ රියදුරන් සඳහා නිලහැඳුනුම්පත් ප්රදානය කිරීමේ උත්සවයේදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා,
'' ගුවන්තොටුපලට පැමිණෙන සංචාරකයන්ට ලංකාවට ආවම තමන්ගේ සංචාරය සඳහා වාහන කුලියට ලබාගන්නා කවුන්ටර් 06ක් තිබෙනවා. ඡන්දයක් ඉවර වුනාම ආණ්ඩුව ගන්නා උදවිය ගිහින් මේ කවුන්ටර් ගහලා ගන්නවා. ඊළඟ අවුරුදු 05 මේවා කරන්නේ ආණ්ඩුවේ බලය තියන උදවිය. ඊට පස්සේ එන ඡන්දයකදී අනිත් කණ්ඩායමට බලය ගියාම ඔවුන් කරන්නෙත් ඒකමයි. කටුනායක ගුවන්තොටුපල ඇතුලේ මේ වගේ තත්ත්වයක් තමයි පහුගිය කාලේ තිබුණේ. මුලදී මේක මාෆියාවක්. පස්සේ මේක දේශපාලන අරගලයක්. සමහර කාල වල පාතාලයත් මේක මෙහෙය වූවා. මේකෙන් අසරණ වුණේ මේ රියදුරු මහත්වරු.
ටෙන්ඩර් දාලා මේ කවුන්ටර් ගත්ත මහා පරිමාණ සමාගම් රියදුරන්ගෙන් කුලිය විදියට ලොකු ගාණක් ගත්තා. ලීසිං දාලා වාහන අරන් ට්‍රැවල් කවුන්ටරයක වාහන යොදවන රියදුරන් ණයකාරයෝ බවට පත්වුණා. මේ අය දුක්විඳලා හොයන ආදායම ගන්නේ වෙන අය. මේවා පිටුපස හිටපු සමහර දේශපාලනඥයන් ලක්ෂ ගාණක් මුදල් හම්බ කලා. තවදුරටත් ඊට ඉඩදෙන්නේ නෑ.
මම විපක්ෂයේ සිටියදී මේ කණ්ඩායම මාව මුණගැහුණාම මම යෝජනා කලේ මේ වැඩපිළිවෙල කිසියම් ප්‍රමිතියකට ලක්කල යුතු බවයි. ඒ වගේම ගුවන්තොටුපල තුල තිබෙන මේ මාෆියාව නැති කරලා මෙම සේවාව විධිමත් කරන්න අපි සාකච්ජා කලා. ආණ්ඩුව අරගෙන ගුවන්තොටුපල භාර ඇමතිවරයා ලෙස මා පත් වුනාම මා මුලින්ම කලේ ඒ සඳහා මේ අයගෙන්ම අදහස් ලබාගැනීමයි. එහි ප්‍රතිඵලයක් ලෙසයි කටුනායක ගුවන්තොටුපලේ සිටින සංචාරක මාර්ගෝපදේශ රියදුරන් නියාමනය කිරීමේ මේ වැඩසටහන අපි අද ආරම්භ කලේ. මේ සංචාරක මාර්ගෝපදේශ රියදුරන් හඳුනාගැනීම සඳහා වෙනම හැඳුනුම්පතක් ඒ අනුව අද ලබාදෙනවා. ඒ අයට වෙනම නිල ඇඳුමක් හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම සංචාරකයන් සමග කටයුතු කිරීම සඳහා අවශ්‍ය පුහුණුව අපි ලබාදෙන්න තීරණය කරලා තිබෙනවා යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.