ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකාවේ ද්විපාර්ශවික ණය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව තාක්ෂණික සාකච්ඡාවක් 2020 ජූලි මස 22 වැනි දින පවත්වා තිබේ.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ එක්සිම් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉන්දීය නියෝජිත කණ්ඩායම වීඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සමග මෙම සාකච්ඡාවට සහභාගී විය. දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාව ඵලදායී සහ සුහද ආකාරයෙන් පැවති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
2020 මැයි 23 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද, 2020 මැයි 27 වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමගද, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පවත්වන ලද දුරකථන සාකච්ඡාවන්හිදි කොවිඩ්-19 වසංගතය හා එයින් කලාපය තුළ මතුවිය හැකි සෞඛ්‍යමය සහ ආර්ථික බලපෑම් පිළිබඳව දෙරට විසින් සාකච්ඡා කර ඇත. මෙම සාකච්ඡාවන්හිදි, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වසංගතයේ බලපෑම් අවම කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම තවදුරටත් ලබාදෙන බවට සහතික වූ බව මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.