දකුණු කොරියාවේ ගෙවීගිය සිකුරාදා දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 824ක් වාර්තා වූ බව එරට ජාතික රෝග පාලන හා නිවාරණ ඒජන්සිය නිවේදනය කළ අතර, මේ සමග රටපුරා ජනතාව ඒකරාශී වන සීමා දැඩි කිරීමට පියවර ගෙන තිබේ.
මීට පෙර, දකුණු කොරියාව වසංගතය හමුවේ ලෝකයේ වඩාත්ම සාර්ථක ප්‍රතිචාරයක් දැක්වූ රටක් බවට පත්වූයේ මුල් වටයේදී සාර්ථකව කොවිඩ්-19 පාලනය කරමිනි. ලෝකයේ වෙනත් තැන්වල දක්නට ලැබුණු දැඩි අගුළු දැමීමේ පියවරයන් නිසා එවර රට තුළ වසංගතය වළක්වා ගැනීමට හැකිවිය.
එහෙත් මෑතදී හඳුනාගත නොහැකි ආසාදන වැඩිවීම බලධාරීන් සැලකිලිමත් වී ඇති අතර, රට තුළ වසංගතය සම්බන්ධ සීමා ලිහිල් වීමද මීට හේතු වී ඇති බව කියයි. මේ තත්ත්වය තුළ යළිත් රට වසා දැමීමක් බලාත්මක කිරීමට සලකා බලන තරම් ඔවුන් උනන්දු වී ඇත්තේ ගෙවීගිය දිනයේ හඳුනාගත් ආසාදනවලින් 788ක් දේශීයව සම්ප්‍රේෂණය වූ රෝගීන් නිසාය.
මේ වනවිට දකුණු කොරියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 62,593 ක් හඳුනාගෙන ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 942ක් මිය ගොස් තිබේ.
විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේ පවතින කොවිඩ්-19 නව ප්‍රභේදය දෙසැම්බර් 26 වැනි දින දකුණු අප්‍රිකාවෙන් පැමිණි අයෙකුගෙන් අනාවරණය වී ඇති බවත් ජාතික රෝග පාලන හා නිවාරණ ඒජන්සිය පවසයි.
මේ තත්ත්වය තුළ ජනවාරි 17දා දක්වා දකුණු කොරියානුවන් 5 දෙනෙකුට වැඩි පිරිසක් එක්රැස් කිරීම තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම පියවර මේ වනවිටත් එරට සෝල් අගනුවර ක්‍රියාත්මක වූ නමුත් එය මුළු රටටම ව්‍යාප්ත කර ඇත්තේ ආසාදන වැඩිවීමේ මෙම නව තත්ත්වය යටතේය.