දකුණු කොරියාවෙන් ගෙවීගිය බ්‍රහස්පතින්දා දිනයේ වාර්තා වී ඇත්තේ මාර්තු මාසයේ සිට එරට වැඩිම දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව බවත්, මෙම නව ආසාදන වැඩිවීම ප්‍රධාන තුන්වැනි රැල්ලක බිය උපදවන්නක් බවත් විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව 100ත් - 300ත් අතර දෛනික නව ආසාදන සංඛ්‍යාව සති කිහිපයකින් පසුව නව ආසාදිතයන් 583ක් ලෙස බ්‍රහස්පතින්දා නිවේදනය කරනු ලැබීය.
නවතම සිද්ධීන්ගෙන් වැඩි ප්‍රමාණයක් සෝල් ප්‍රදේශයේ කාර්යාල, පාසල්, ජිම් සහ කුඩා රැස්වීම්වල පොකුරු බව කොරියානු රෝග පාලන හා නිවාරණ ඒජන්සිය පවසයි.
එරට කඳවුරක අලුතින් බඳවා ගත් සොල්දාදුවන් සැලකිය යුතු පිරිසක්ද ඇතුළුව හමුදාව තුළටද ආසාදන පැතිර ගොස් ඇති අතර, දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය වෛරසය පාලනය සඳහා වූ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට පෙළඹී තිබේ.
"අපි දැන් සිටින්නේ ඕනෑම තැනක වෛරසය පැතිර යා හැකි තත්වයකයි" සෞඛ්‍ය අමාත්‍ය පාක් නියුන්ග් හූ පැවසීය.
වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා බලධාරීන් දැඩි උත්සාහයක නිරත වෙමින්, එරට රජය මේ සතියේ අගනුවර සහ අවට ප්‍රදේශවල සමාජ දුරස්ථ නීති දැඩි කළේය. ඒ අනුව රාත්‍රී සමාජශාලා සහ බාර් වසා දැමීම සහ මංගල උත්සව හා අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණෙන අමුත්තන්ගේ සංඛ්‍යාව 100කට සීමා කිරීම මෙම පියවරයන්ට ඇතුළත් විය.
ආපනශාලාවලට අවසර ලබාගත හැක්කේ ආහාර රැගෙන යාම සඳහා පමණක් වන අතර, සියලුම අවන්හල් රාත්‍රී 9.00 වනවිට වසා දැමිය යුතුය. බ්‍රහස්පතින්දා සංඛ්‍යාලේඛන අනුව රටේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 32,000ක් ඉක්මවා ගොස් තිබේ.