තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන්-ඔ-චා මහතා අනිද්දා (12දා) දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර අත්සන් කිරිමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා පැවැත්විමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි..
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ නොවැම්බර් තායිලන්ත සංචාරයේදී කළ ආරාධනාවක් මත ප්‍රයුත් චන්-ඔ-චා මහතා මෙම සංචාරය ආරම්භ කරයි.
අන්දිදා සන්ධ්‍යාවේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති සිරිසේන මහතා විසින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට නියමිත අතර අග්‍රාමාත්‍යවරයාට ගෞරව පිණිස හමුදා උත්තමාචාර හා ආචාර වෙඩිමුර පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඉන් අනතුරුව නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුරදී වරදකරුවන් හුවමාරු කරගැනීම පිළිබඳ හා දඬුවම් පැමිණවීමේදී සහයෝගීව ක්‍රියාකිරීම පිළිබඳ ගිවිසුම, උපායමාර්ගික ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳ අවබෝධතා ගිවිසුම, ප්‍රාථමික නිෂ්පාදනවල එකතු කළ අගය සම්බන්ධ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම හා ස්වයංපෝෂිත ආර්ථික දර්ශනය ශ්‍රී ලංකාවේ භාවිත කිරීම මත පදනම්වූ තිරසර ප්‍රජා සංවර්ධන ආකෘතිය පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩසටහන යන ගිවිසුම්වලට අත්සන් කිරීමටද කටයුතු යොදා තිබේ.
තවද අනාගතයේදී එළැඹීමට අපේක්ෂිත ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් 13දා පවත්වන අතර ඉන් අනතුරුව දෙරට අතර ආර්ථික සහයෝගීතාව, වෙළෙඳාම හා ආයෝජනය යන කරුණු මත පදනම් වූ සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම සංචාරය අතරතුරදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ශ්‍රී දළදා මාලිගය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්වවල අති පූජනීය මහනායක හිමිවරුන්ද බැහැදැකීමට නියමිතය.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සිය ශ්‍රී ලංකා සංචාරය සනිටුහන් කිරීමට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පැළයක්ද රෝපණය කිරීමට කටයුතු යොදා තිබේ.
