ශ්‍රී ලංකාවට තල හා කුරහන් ආනයනය කිරීම මේ වසරේ සිට නවතා දමන බව කෘෂිකර්ම අමාත්‍ය පි. හැරිසන් මහතා සඳහන් කළේය. අනුරාධපුරයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“උඳුවලට අපි බද්දක් දාලා තිබුණා රු. 200ක. නමුත් උඳු පියළි කරලා රටට ගේනවා. ඒක අහු වෙන්නේ පරිප්පු බද්දට. බලන්න කොතරම් වෙළෙන්දා කපටිද කියලා. මම ඊට පස්සේ බද්ද වැඩි කළා. උඳු පියළි කරලා ගෙන්වනවා නම් බද්ද රුපියල් 400 දක්වා වැඩි කළා. පියළි කළ උඳු, මුං ඇට, කව්පි සඳහා මේ බද්ද ක්‍රියාත්මක කිරීමට මම නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
පිටරටින් කුරහන් වගේම තල ආනයනයත් අපි මේ අවුරුද්දෙන් නවත්තනවා. කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් පසුගියදා සමාගමක් තල ගෙන්න ඉල්ලීමක් කරලා තිබුණා. නමුත් තල අස්වැන්න මේ දවස්වල නෙළන කාලය. මම වහාම තල ගෙන්වන එක නවත්වන්න කියලා අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නා. ලූණු සඳහාත් අපි පාලන මිලක් දැම්මා රු. 80ක. ඒ නිසා ලොකු ලූණු බය නැතුව හිටවන්න කියලා අපි ගොවීන්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා.”