මාතර , වැලිගම , හේන්වල ප්රදේශයේ අද (05දා) උදෑසන යතුරුපැදියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වැලිගම පොලීසිය පවසයි.
යතුරු පැදියේ සිටි දෙදෙනා මෙම අනතුරෙන් බරපතළ තුවාල ලබා කොටවිල රෝ හලට ඇතුළත් කිරීමෙන් පසුව මාතර මහා රෝහල වෙත මාරුකර යවා තිබූ අතර, හිසට සිදු වූ තුවාල හේතුවෙන් ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම, කප්පරතොට ප්රදේශයේ පදිංචිව සිටි දිලුම් කුමාර (19) නමැති දැනට දින දෙකකට පෙර විවාහ වු තරුණයෙකි.
අද උදෑසන යතුරු පැදිය මාතර දෙස සිට වැලිගම දෙසට පැමිණ ඇති අතර, බස් රථය වැලිගම දෙස සිට මාතර දෙසට ගමන් කර ඇති බවත් වැලිගම, හේන්වල මංසන්ධියේදී වාහන දෙක මුහුණට මුහුණ ගැටී තිබෙන බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මාතර - මහේෂ් මලවරආරච්චි