මෙරට පළමු වරට තරුණ පිරිස ඉලක්ක කර ගනිමින් ඉදිකෙරෙන මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමය යක්කල , වැරැල්ලවත්තේ ආරම්භ කිරීමට ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව පියවර ගෙන ඇත.
විශ්ව විද්‍යාල අධ්‍යාපන සදහා සුදුසුකම් ලබන පිරිස සහ උපාධිධාරීන් ඇතුළු රැකියා ලබන වයස අවුරුදු 35 ට අඩු තරුණ පිරිස් ඉලක්කර ගනිමින් දීර්ඝකාලීනව ගෙවීමේ ණය පහසුකම් සහිතව මෙම නිවාස ලබාදීමට පියවර ගන්නා ලෙසට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී ඇති බව මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීමේ ස්ථානය පරීක්ෂාව සහ මුල් ගල තැබීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේදී ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මාධ්‍යට පැවසීය.
අක්කර තුනක භූමි භාගයක මහල් 10 බැගින් වන නිවාස 400 ක් මෙම මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකෙරෙන අතර පළමු අදියර යටතේ නිවාස 120 ක් ඉදිකෙරෙන බවත් අමාත්‍යවරයා කීය.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ , තරුණ තරුණියන්ට තමන්ගේම නිවසක් ලබාදීමේ අරමුණින් මෙම නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන බවත් මේ සදහා සියයට හයක පොලියක් සහිතව දිගුකාලීනව සහන ණයක්ද හිමිවන බවත්ය.
ඉංජිනේරු සංස්ථාව , රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාව, නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවාස ඉදිකිරීම සිදු කෙරෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරිණි.
නිවාස යෝජනා ක්‍රමය සදහා මුල්ගල තැබීම ඔක්තෝම්බර් මස 5 වෙනි දිනට යෙදෙන ලෝක ජනාවාස දිනයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට සැලසුම් කොට ඇත.
ගම්පහ - තිලකරත්න දිසානායක