ශ්‍රී ලංකාවේ තේ අපනයනය කිරීමේදී ඇමෙරිකානු ඩොලර් වෙනුවට යුරෝවලින් ගෙවීමට හැකියාව තිබේදැයි ජාත්‍යන්තර බැංකු සමග සාකච්ඡා කිරීමට තීරණය කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ඇමෙරිකානු ඩොලර්වලින් ගනුදෙනු කිරීම ප්‍රතික්ෂේප කර ඇති ඉරානය යුරෝවලින් ගනුදෙනු කිරීමට කැමැත්තෙන් පසුවන බවද ඇමතිවරයා සඳහන් කළේය.
ඇමෙරිකාව විසින් ඉරානයට සහ තුර්කියට තහංචි පැනවීම නිසා ලංකාවේ තේ මිල රුපියල් විස්සකින් අඩු වී තිබෙන බවත්, මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අහිතකර අයුරින් බලපා තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඉරානයේ තේ වෙළෙඳ පොළ කඩාවැටීම නිසා ශ්‍රී ලංකාව මුහුණදී ඇති තත්ත්වය පැහැදිලි කිරීම සඳහා බ්‍රහස්පතින්දා පෙරවරු 11.00ට ඉරාන තානාපතිවරයා හමුවන බවත්, ඇමෙරිකානු නියෝජ්‍ය තානාපතිවරයා ලබන සතියේදී හමුවන බවත් ඔහු කීය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම ධුරයේ කටයුතු කරන ඉදිරි වසර තුනක් පමණ යනතුරු ඉරාන තේ වෙළෙඳ පොළ ශ්‍රී ලංකාවට අවාසිදායක විය හැකි බවද ඒ මහතා පැවසීය.
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ නවින් දිසානායක මහතා,
“ඇමෙරිකාව ඉරානයට සහ තුර්කියට තහංචි පැනවීම නිසා ලංකාවේ තේ මිල රුපියල් විස්සකින් පමණ අඩුවී තිබෙනවා. තුර්කි තහනම එතරම් බලපාන්නෑ. ඉරානයේ තහනම බරපතළ වෙන්න පුළුවන්. ට්‍රම්ප් ඉන්නේ දැඩි ලෙස ඉරානයට ගහන්න. අපි හා ඉරානය අතර හොඳ සම්බන්ධයක් තිබුණත් අමු තේ දලුවලට ගෙවීමේ ප්රශ්නය තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවන්නේ. මේ අය ඩොලර් සම්බන්ධව තියෙන ගනුදෙනු ඔක්කොම බ්ලොක් කරනවා. ඩොලර් සම්බන්ධ ගනුදෙනු සියල්ල සිදුවන්නේ නිව්යෝර්ක් නගරය හරහා.
ජාත්‍යන්තර බැංකු කැමති නැහැ ඇමෙරිකාවේ තහංචිවලට විරුද්ධව කටයුතු කරන්න. ඇමෙරිකාව කියන්නේ බලවත් රටක්. ඒ අයට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. තහංචි දාන්න පුළුවන්. මිනිස්සු නැති කරන්න පුළුවන්. සමාගම් නැති කරන්න පුළුවන්. එක සමාගමක් බ්ලැක් ලිස්ට් කළොත් ආයේ කවදාවත් ඔළුව උස්සන්න අමාරුයි. අපි හදනවා බැංකු සමග සාකච්ඡා කරලා, ඇමෙරිකානු තානාපති කාර්යාලය සමග කතා කරලා තේ කෘෂි අපනයන බෝගයක් නිසා අපට සහන ලබාගැනීමට. අපේ තත්ත්වය පැහැදිලි කරලා දෙන්න.
මම ඉරාන තානාපතිවරයා බ්‍රහස්පතින්දා 11.00ට හමුවෙනවා. ඇමෙරිකානු තානාපතිවරයෙක් තවම එවලා නැති නිසා එහි දෙවැනියා ලබන සතියේ හමුවෙනවා. අපි පුංචි රටක් හැටියට මෙවැනි දේවල්වලින් අපේ රටේ ආර්ථිකයට විශාල අහේනියක් වෙන්න පුළුවන්. තේ ආර්ථිකයෙන් මිලියන දෙකක ජනතාව ජීවත්වෙනවා.
තේ කිලෝවක මිල රුපියලක, රුපියල් 50ක වෙනසක් තිබුණත් අපේ ආර්ථිකයට ඉන් විශාල බලපෑමක් සිදුවනවා. ඒ නිසා බැංකු හරහා සාකච්ඡා කරලා ඇමෙරිකානු ඩොලර් වෙනුවට යුරෝවලින් ගෙවීමට හැකියාව තියෙනවාද කියලා මම සොයා බලනවා. ඉරානය ඒකට කැමතියි.
අපි ඉරානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් ගෙවීමට තිබෙනවා. ඒ මුදල් පාවිච්චි කරලා තේ අපනයනවලට ගෙවන්න පුළුවන්ද කියලා බලනවා. ඒක බාටරින් සිස්ටම් එකක්. අපි ගෙවිය යුතු මුදල ඒ අයගේ තේ අපනයනයට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලනවා.
ඒ අය ඒකට කැමති නම් සීපීසී එක හරහා ඒක පටන්ගන්න පුළුවන්. ඒකත් අපි දැන් සාකච්ඡා කරගෙන යනවා. ට්‍රම්ප් ඉන්නකම් ඉරානයත් එක්ක ගනුදෙනුවලට තත්ත්වය හොඳ නෑ.
ඉතාම සියුම් ලෙස ඔවුන්ගේ නිෂ්පාදන ඉරානයට යවන්න තවත් වෙළෙඳ පොළවල් සොයන්න කියලා අපේ තේ අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. අවුරුදු දෙක තුනකට ඉරාන මාකට් එක හොඳ වෙන්නැති වෙන්න පුළුවන්. නමුත් ඉරානයේ මිනිස්සු අපේ තේවලට හරිම ආදරෙයි.
ඇමෙරිකාවේ ප්‍රශ්නයකට අපට මුහුණ දේවි කියලා අපි කවුරුවත් හිතුවේ නැහැ. ඔබාමා හිටිය නම් ඔය ප්රශ්නය සිද්ධ වෙන්නෑ යනුවෙන් පවසා සිටියේය.