ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් ඩෙල්ටා කොවිඩ්-19 ප්‍රභේදයට එරෙහිව චීනයේ නිෂ්පාදිත එන්නත් ඵලදායී බව චීනයේ ඉහළම වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන් ප්‍රකාශ කළේය.
දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ අගනුවර වන ගුවැන්ෂු හි යළි ආසාදනයන් ඇති කරමින්, ප්‍රජාවන් තුළ පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය සමග චීනයට මුහුණ දීමට සිදු වූ පළමු වැනි අවස්ථාව මෙය බවද ෂොං පැවසීය.
මෙම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විට කෙටි කාලයකින් රෝග ලක්ෂණ පෙන්නුම් කරන නමුදු, එය ආසාදනය වූවන්ට සුවය ලැබීමට තරමක් වැඩි කාලයක් ගතවන බව කියැවෙයි.
කෙසේ වෙතත් මැයි මාසයේ සිට ගුවැන්ෂු හි ආසාදිතයන් 153ක් වාර්තා වූ නමුත්, ජුනි 19 සිට 24 දක්වා කාලය තුළ නව දේශීය ආසාදිතයන් කිසිවෙකු වාර්තා වී නොමැති බවද ෂොං අවධාරණය කළේය.
"ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු වසංගතයට එරෙහිව ප්‍රජා ප්‍රතිශක්තිය තහවුරු කිරීම සඳහා අපි වැඩි පිරිසකට එන්නත් ලබා දිය යුතුයි" ෂොං වැඩිදුරටත් පැවසීය.
පසුගිය බ්‍රහස්පතින්දා වනවිට, චීන ප්‍රධාන භූමියේ එන්නත් එක් මාත්‍රාවක් හෝ ලැබූ පිරිස බිලියන 1.1කට වඩා වැඩිය. එමෙන්ම චීනයේ නිෂ්පාදිත සීනොෆාම් සහ සීනොවැක් යන කොවිඩ්-19 මර්දන එන්නත් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා හදිසි භාවිත අනුමැතිය ලබා ඇති අතර, ඒවා චීනය තුළත්, ලොව පුරාත් බහුලව භාවිත වන එන්නත් බවට පත්ව තිබේ.