ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස්, දේශීය වශයෙන් හඳුනාගත් නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව තුන්වැනි දිනටත් ඉලක්කම් දෙකක අගයකින් ඉහළ ගොස් ඇති අතර, අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම වැළැක්වීමට එරට බලධාරීන් දැඩි පරිශ්රමයක නිරත වෙමින් සිටියි.
"වසංගතය යළිත් ආරම්භ වී ඇති බැවින්, මෙය නිව් සවුත් වේල්ස් හරහා ගමන් කරන භයානක කාලය විය හැකියි" ප්‍රාන්තයේ මහ ඇමති ග්ලැඩිස් බෙරෙජික්ලියන් සිඩ්නි නුවරදී වාර්තාකරුවන්ට පැවසීය.
ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය සහ රටේ මිලියන 25ක ජනගහනයෙන් පහෙන් එකක් ජීවත් වන සිඩ්නි නුවරට වසංගත සීමාවන් පැනවීමට නිව් සවුත් වේල්ස් කටයුතු කර ඇති අතර, සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ ආසාදිත පුද්ගලයන් සමග අවම සම්බන්ධතා පැවැත්වීමෙන් පවා සම්ප්‍රේෂණයන් සිදුවිය හැකි බවය.
හදිසි අගුලු දැමීම්, දැඩි සමාජ දුරස්ථ නීති සහ වේගවත් සම්බන්ධතා ලුහුබැඳීම් හරහා අතීතයේ ඇති වූ පිපිරීම් සාර්ථකව මර්දනය කිරීම පිළිබඳ හොඳ වාර්තාවක් ඔස්ට්‍රේලියාවට ඇතත්, නිව් සවුත් වේල්ස් නිලධාරීන් මේ වනවිට දැඩි අගුලු දැමීමේ සීමාවලට යෑමට අදහස් කර නැත.
වසංගතය ආරම්භ වූදා සිට ඕස්ට්‍රේලියාව වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 30,400ක් සහ මරණ 910ක් පමණි.
මහ ඇමති බෙරෙජික්ලියන් පැවසුවේ වෛරස් ප්‍රභේදය ඉතා බෝවනසුලු එකක් වුවද, සිය රජය වර්තමාන මට්ටමේ සීමාවන් සමග මෙම සටනට මුහුණදීමට සූදානම් බවයි.
කෙසේ වෙතත් බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත මහ ඇමති මාක් මැක්ගොවන් නිව් සවුත් වේල්ස් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ වෛරසය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා ප්‍රාන්තය අගුලු දමා තබන ලෙසයි. එහිදී බටහිර ඔස්ට්‍රේලියාව මේ වනවිටත් නිව් සවුත් වේල්ස් හි මායිම වසා දමා ඇත.
සිඩ්නි නුවර කාර්යාල ඇතුළු සියලුම ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කර ඇති අතර, නැගෙනහිර හා අභ්‍යන්තර බටහිර උප නගර හතක පදිංචිකරුවන්ට නගරයෙන් පිටවීම තහනම් කර තිබේ. මාසයකට වැඩි කාලයක් තුළ ප්‍රාන්තය පුරා පවතින මෙම සම්ප්‍රේෂණ පාලනය කිරීම සඳහා නිවාසවල රැස්වීම පස් දෙනෙකුට සීමා කර තිබේ.
අද දිනයේ නව දේශීය ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වූ අතර, නවතම ආසාදනවල සමස්ත රෝගීන් සංඛ්‍යාව 40කට වඩා වැඩි විය.