ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලේ සිසුන්ට ලබා දෙන රුපියල් දෙදහසක්වන මාසික ශිෂ්‍යත්ව අරමුදල රුපියල් තුන්දහස දක්වා වැඩිකිරීමට මහින්ද රාජපක්ෂ අද දින උපදෙස් දුන්නේය.
ටවර් හෝල් රඟහල පදනමේ 296 වැනි භාරකාර මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති අවස්ථාවේ මෙම තීරණයට එළැඹිණි.
මෙයට අමතරව ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලේ වාර්ෂිකව විශිෂ්ට දක්ෂතා දක්වන සිසුන්ට ලබා දෙන රුපියල් 5000ක මුදල් ත්‍යාගය රුපියල් 10000ක් දක්වා ඉහළ දැමීමට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් දුන්නේය.
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කළේය.
ටවර් හෝල් පදනමේ අධ්යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා එම යෝජනාවට අදාළ පත්‍රිකාව ඉදිරිපත් කරමින් දුරබැහැර පළාත්වල සිට පැමිණෙන නාට්‍ය හා රංගකලා පාසලේ සිසුන් පසුගිය කාලය පුරාවට විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කර ඇති බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒ ශ්‍රේණියේ පාඨමාලා සහතිකය ඊට හිමිව ඇති බවත් අග්‍රාමාත්‍යතුමාට පෙන්වා දුන්නේය.
කලාකරුවන්ට රජයෙන් ලබාදෙන නිවාස පසුකාලීනව විකිණීමෙන් කලාපුරය වැනි ස්ථානවල තිබෙන වැදගත්කම හීන වී යනබව පැවැසූ අග්‍රාමාත්‍යතුමා එසේ රජයෙන් කලාකරුවන්ට ලබාදුන් නිවාස විකුණන්නේ නම් ඒවා නැවත රජයට පවරාගැනීම පිළිබඳව අවධානය යොමු කරන්නැයි පැවසීය.
ඊට අමතරව කලාපුරයේ දැනට සංවර්ධනය නොකළ රජයට අයත් භූමියේ කලාකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ඉදිකළ හැකිබව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් පෙන්වා දුන් අතර ඊට අදාළ සොයා බැලීම් කරන්නැයිද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවැසීය.