ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් කරටකර තරගය අභියස ජෝ බයිඩන් ඉදිරියට පැමිණීම සමග, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක සහ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාවලිය අඩපණ කිරීමේ උපායමාර්ගය සොයමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
මිලියන ගණනක් ඡන්ද ගණන් කිරීම තවමත් සිදුවෙමින් පවතින අතර, ඡන්දය ගණන් කිරීම සිදුවූ දින රාත්‍රිය පුරා නිදි වර්ජිතව සිටි ට්‍රම්ප්, මැතිවරණ ක්‍රියාවලිය අඩපණ කිරීමට උත්සාහ කළ හා නොමග යවනසුලු ටිව්ටර් පණිවුඩ එම සමාජ ජාලයෙන් ඉවත් කිරීමටද ට්විටර් සමාගම කටයුතු කර තිබුණි.
මේ අතර මැතිවරණ දිනයෙන් පසු ඡන්ද ගණන් කිරීම නතර කළ යුතු බවට ට්‍රම්ප් කළ යෝජනාව සෙනෙට් රිපබ්ලිකන් නායකයන්ට සමීප අය ඇතුළු, ඉහළ රිපබ්ලිකානුවන් කිහිප දෙනෙකුද පෞද්ගලිකව ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.
ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සඳහා ඉතිරිව ඇති මාවත රඳා පවතින්නේ ප්‍රතිඵල ගණනය කිරීමේ ක්‍රියාවලියට වැඩි කාලයක් ගත වී ඇති ස්ථානවල තවමත් ගණන් නොගත් ඡන්ද පත්‍රිකා මත බව ඔහුගේම මැතිවරණ ව්‍යාපාරය චෝදනා කරයි.
ඒ අනුව මේ වනවිට මතුව ඇත්තේ වත්මන් ජනපති ට්‍රම්ප් තම අභිමතය පරිදි සියලු මෙවලම් උපයෝගී කරගනිමින් ජයග්‍රහණයක් සඳහා බලහත්කාරය යෙදවීම, ඡන්දයේ අඛණ්ඩතාව පිළිබඳ වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම සහ නීතිමය බලපෑමක් කිරීමට උත්සාහ කිරීම ඇතුළු ක්‍රියාවලියකි. ප්‍රතිඵලය ඔහුට පක්ෂව හැරෙනු ඇතැයි යන උපකල්පනය මත පිහිටමින් ට්‍රම්ප් මෙන්ම ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය හැසිරෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
විස්කොන්සින් වැනි ට්‍රම්ප් පරාජයට පත්වන බවක් පෙනෙන්නට ඇති ප්‍රාන්තවල ඡන්දය නැවත ගණන් කිරීමක් ට්‍රම්ප් පාර්ශ්වය ඉල්ලා ඇති අතර, දැනට ඇති ප්‍රතිඵල මගින් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇති නමුත් කැපී පෙනෙන තැපැල් හා කලින් ප්‍රකාශ කළ ඡන්දවලින් බයිඩන් වෙත වැඩි නැඹුරුවක් පවතින ප්‍රාන්තවල ඡන්දය ගණන් කිරීම නවත්වන ලෙසද ඉල්ලා සිටියි.
එමෙන්ම මිචිගන් සහ පෙන්සිල්වේනියාවේදීද ඡන්දය ගණන් කිරීම අත්හිටුවන ලෙස කියා සිටි අතර, එහි මිචිගන් මේ වනවිටත් බයිඩන් ඉදිරියට පැමිණ ඇති අතර, පෙන්සිල්වේනියා ඡන්ද ගණන් කිරීම සිදුවන විට ට්‍රම්ප් තවමත් ඉදිරියෙන් සිටියද ඔහුගේ පරතරය ක්‍රමයෙන් අඩුවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ තත්ත්වය තුළ බොහෝ ප්‍රාන්ත තුළ සාධාරණ හා නිදහස් මැතිවරණයක් වෙනුවෙන් මෙන්ම, සියලු ඡන්ද බාධාවකින් තොරව ගණන් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ජනතා උද්ඝෝෂණ කිහිපයක්ම පැවැත්වෙමින් තිබේ.
කෙසේ හෝ මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ඕනෑම අපේක්ෂකයෙකු සමූහ ඡන්ද (electoral votes) 270ක් ලබාගත යුතුව ඇත.