ට්රම්ප්ගේ අධාරකරුවන් කඩාවදිමින්, උද්ඝෝෂණ උග්ර අතට හැරෙද්දී සිය නිහඬතාව බිඳිමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ජනාධිපතිවරයා විරෝධතා කරුවන්ගෙන් ඉල්ලා සිටියේ "පොලිසියට හා නීතිය ක්රියාත්මක කරන පිරිස්වලට සහාය දෙන්න" කියාය.
"ඔවුන් සැබවින්ම ඉන්නේ රට පැත්තේයි" යනුවෙන් තත්ත්වය තවදුරටත් උත්සන්න කරන ප්රකාශයක් සමග ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ජනපති ට්රම්ප් ඉන් අනතුරුව සාමකාමීව විසිර යන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියද, යළිත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, මැතිවරණය "කොල්ල කෑ" බව කියා තිබුණි.
ඒ අනුව තත්ත්වය අවුලුවාලන ඇමෙරිකානු නායකයාගේ ප්රකාශය හේතුවෙන් එම ටිවිටර් පණිවුඩය බෙදාගැනීම සහ ඊට ප්රතිචාර දැක්වීම ට්විටර් ආයතනය මගින් අවහිර කොට තිබුණි.
ට්විටර් සමාගම පවසන්නේ ජනාධිපතිවරයාගේ පණිවුඩය මගින් "ප්රචණ්ඩත්වය පිළිබඳ අවදානමක් පවතින" බවයි.
මේ අතර ෆේස්බුක් සමාගමද ජනාධිපතිවරයාගේ ප්රකාශයන් අවහිර කොට තිබුණු අතර, එම සමාගම් ද්විත්වයම ට්රම්ප්ගේ සමාජජාල ගිණුම් තාවකාලිකව අත්හිටුවා තිබුණි. එහිදී ප්රචණ්ඩාකාරී තත්ත්වය සමනය කිරීමකට වඩා තත්ත්වය උග්ර අතට පත්වන ආකාරයෙන් ට්රම්ප් කටයුතු කර තිබුණු බවට චෝදනා නැගුණි.